මේ වනවිටත් ලකුණු සටහනේ නේපාල කණ්ඩායමටත් පහළින් අවසන් ස්ථානයේ පසුවන ශ්රී ලංකා කණ්ඩායම සුපිරි 08 දෙනාගේ වටයෙන් ඉවත්වීම ඊයේ (13) නිල වශයෙන් තහවුරු වූයේය.
ඒ ශකීබ් අල් හසන් විශිෂ්ට අර්ධ ශතකයක් සමඟින් නැවත දස්කම් දැක්වීමත්, පා දඟ පන්දු යවන රිෂාඩ් හොසේන් තීරණාත්මක සන්ධිස්ථානයකදී සිදුකළ විශිෂ්ට පන්දුකරණයත් මත නෙදර්ලන්ත කණ්ඩායම පරාජය කිරීමට බංගලාදේශය සමත්වීමත් සමගය.
ඊයේ (13) ශාන්ත වින්සන්ට් හි කිංග්ස්ටවුන් හි ආනොස් වේල් ක්රීඩාංගණයේ පැවති තරගයේ දී නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 25 ක ජයක් ලබා ගනිමින් බංගලාදේශ කණ්ඩායම සුපිරි 08 දෙනාගේ වටයට ප්රවේශය ආසන්නම තැනට පැමිණෙන්නේ ශ්රි ලංකා කණ්ඩායම තරගාවලියෙන් එළියට විසිකරමිනි.
ලකුණු 160ක ඉලක්කයක් තැබූ බංගලාදේශ අභියෝගය හඹා ගිය නෙදර්ලන්තය නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 134ක් ලබා ගත්තේය.
විස්සයි 20 ලෝක ශූරතාවය වර්ෂ 2014 දී දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියක මූලික වටයෙන් ඉවත් වූ පළමු අවස්ථාව මෙය ය.
ලෝක කුසලානය දිනාගැනීමෙන් අනතුරුව මේ වනතුරු වසර දහයකින් ශ්රී ලංකා කණ්ඩායම 20 -20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියක අවසන් පූර්ව වටයට ක්රීඩා කිරීමට සුදුසුකම් ලබා නැත.