බලාපොරොත්තු වන පරිදි සියලු දේවල් සිදු වන බව අපි සහතික කරන්නේ කෙසේද? එය ඔබගේ ප්‍රියතම කෝපි සාදන යන්ත්‍රය හෝ ඔබගේ දුරකථනයේ ගැටළුවක් නොමැතිව ක්‍රියාත්මක වන යෙදවුමක් වේවා, අපි සියල්ලෝම නිවැරදි සහ විශ්වාසනීය ප්‍රතිඵල ලබා දෙන බවට එම පද්ධති මත විශ්වාසය තබන්නෙමු. තත්ත්ව සහතික(QA) ක්‍රියාවලිය කරලියට පැමිණෙන්නේ මෙම අවස්ථාවේදී වේ. තත්ත්ව සහතික ක්‍රියාවලිය යනු සෑම දෙයක්ම අපේක්ෂිත පරිදි ක්‍රියාත්මක වන බවට සහ අපගේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගනිමින් නිරවද්‍යතාවය සහ විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා පරීක්ෂා කරන ක්‍රියාවලියයි. තත්ත්ව සහතික ක්‍රියාවලිය ආරක්ෂිත දැලක් වැනිය, මෙමගින් අවසාන පරිශීලකයා වෙත යෙදවුම ළඟා වීමට ප්‍රථම ඇති විය හැකි සෑම ගැටළුවක්ම පාහේ පරික්ෂා කර හඳුනා ගැනේ. අපගේ එදිනෙදා ජීවිතයේදී, බොහෝ ක්රියාවලීන්වල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට තත්ත්ව සහතික ක්‍රියාවලිය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
මෘදුකාංග ඉංජිනේරු විද්‍යාවට තත්ත්ව සහතික ක්‍රියාවලිය සම්බන්ධ වන විට එමගින් වැදගත්, තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. එය දෝෂ නිවැරදි කිරීම පමණක් නොවන අතර හමු වූ ප්‍රථම මොහොතේදීම ගැටලුවට පිළියම් යොදා එය වැලැක්වීමයි. සාම්ප්‍රදායික තත්ත්ව සහතික ක්‍රියාවලියේදී සාමාන්‍යයෙන් අතින් පරීක්ෂා (manual testing) කිරීම් ඇතුළත් වන අතර, එහිදී තත්ත්ව පරීක්ෂකයින් මෘදුකාංගය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැයි පරීක්ෂා කිරීමට සිදු විය හැකි සෑම අවස්ථාවක්ම පරික්ෂා කරති. ඵලදායී වුවද, මෙම ක්‍රමවේදය මන්දගාමී වේ. සෑම සිදුවිය හැකි අවස්ථාවක් සඳහාම පරීක්ෂණ සියගණනක් අතින් ධාවනය වන විට ඉතා විශාල කාලයක් ගත වන අතර මානව දෝෂ වලටද ගොදුරු විය හැකිය. කෘත්‍රිම බුද්ධිය (AI) තත්ත්ව සහතික (QA) ක්ෂේත්රයට පිවිසෙන්නේ මෙහිදීය.
සත්‍ය වශයෙන්ම කෘතිම බුද්ධිය (AI) යනු කුමක්ද? සරලව කිවහොත්, මෙය මිනිසුන්ගේ බුද්ධිමත් හැසිරීම් හා ක්‍රියාවලීන් පිටපත් කිරීමට නිර්මාණය කරන ලද යන්ත්‍ර වේ. කෘතිම බුද්ධි පද්ධති වලට දත්ත වලින් ඉගෙන ගැනීමටත්, රටා හඳුනා ගැනීමටත්, මිනිස් මෙහෙයවීමකින් තොරව තීරණ ගැනීමටත් හැකිය. එය පුනරාවර්තන කාර්යයන් හැසිරවීමට, විශාල තොරතුරු ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමට සහ කාලයත් සමඟ වැඩිදියුණු කිරීමට පවා හැකි සුපිරි-ස්මාර්ට් සහායකයෙකු අප සතුව සිටිනවා වැනිය. කෘතිම බුද්ධිය යනු අනාගතවාදී සංකල්පයක් පමණක් නොවේ. එය දැනටමත් අප වටා ඇති ක්ෂේත්‍ර පරිවර්තනය කරමින් පවතී. ස්වයං ධාවන මෝටර් රථවල සිට සිරී (Siri) සහ ඇලෙක්සා (Alexa) වැනි virtual assistants දක්වා, කෘතිම බුද්ධිය අප ජීවත් වන ආකාරය සහ වැඩ කරන ආකාරය වෙනස් කරයි. මෘදුකාංග ඉංජිනේරු ලෝකයේදී, කෘතිම බුද්ධියට ඇති අනුවර්තනය වීමට සහ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව තත්ත්ව සහතික ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රබල මෙවලමක් ලෙස කෘතීම බුද්ධිය භාවිතයට ඇති අවස්ථාවන් වේ. මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලියේදී කෘතිම බුද්ධිය භාවිතා කරන සමාගම් කෙතරම් ඉක්මනින් සහ නිවැරදිව උසස් තත්ත්වයේ මෘදුකාංග ලබා දීමට හැකි වීම කෘතීම බුද්ධිය විසින් ඇති කල එක් විශ්මයජනක ප්‍රථිපලයක් වේ .
කෘතිම බුද්ධිය සමඟ තත්ත්ව සහතික ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම
කෘතිම බුද්ධිය සාමාන්‍යයෙන් මානව බුද්ධිය අවශ්‍ය වන කාර්යයන් හැසිරවීමට නිර්මාණය කර ඇති පරිගණක පද්ධති මගින් ක්‍රියාත්මක වේ. තත්ත්ව සහතික ක්‍රියාවලිය(QA) සම්බන්ධයෙන් ගත් කල, පරීක්ෂණ ක්‍රියාවලියේ විවිධ කොටස් ස්වයංක්‍රීය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා කෘතිම බුද්ධිය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. සෑම පියවරක්ම වඩාත් කාර්යක්ෂම හා ඵලදායීව සිදු කිරීමට මෙයින් හැකිව තිබේ.
1. පරීක්ෂණ ක්‍රියාවලි ස්වයංක්‍රීය කිරීම
කෘතිම බුද්ධියෙහි වඩාත්ම පරිවර්තනීය අංගයක් වන්නේ එය පරීක්ෂණ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කරන්නේ කෙසේද යන්නයි. සාම්ප්‍රදායික තත්ත්ව සහතික ක්රියාවලියෙහි, බොහෝ තත්ත්ව පරීක්ෂකවරු පරීක්ෂණ අවස්ථා නිර්මාණය කිරීම, ධාවනය කිරීම සහ විශ්ලේෂණය කිරීම සඳහා යොමු කරයි. එය බොහෝ විට මන්දගාමිත්වයට සහ විභව නොගැලපීම් වලට තුඩු දෙයි. කෘතිම බුද්ධිය මඟින් පරීක්ෂණ අවස්ථා උත්පාදනය කිරීම පමණක් නොව, මෘදුකාංගය හැසිරෙන ආකාරය සහ සැබෑ පරිශීලකයින් එය සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය මත පදනම්ව ස්වයංක්‍රීය කරන මෙවලම් මගින් පරීක්ෂණ ස්වයංක්‍රීය කළ හැකිය.
මෙම මට්ටමේ ස්වයංක්‍රීයකරණයන් කාලය පමණක්ම ඉතිරි නොකරන අතර එය ගැඹුරු, වඩාත් විස්තීර්ණ පරීක්ෂණ සඳහා ද ඉඩ සලසයි. කෘතිම බුද්ධිය හට විවිධ පරිශීලක හැසිරීම් අනුකරණය කළ හැකි අතර වඩාත් පළපුරුදු පරීක්ෂකයන්ගේ පවා මනසට හසු නොවන අවස්ථා නිර්මාණය කළ හැකිය. සියලු ආකාරයේ පරීක්ෂණ අවස්ථා (Test cases) සහ විවිධ තත්ත්වයන් ආවරණය කිරීමෙන්, නිෂ්පාදිතය ශක්තිමත්ව සහ සැබෑ ලෝක භාවිතය සඳහා සූදානම්ව පවතින බව සහතික කිරීමට කෘතිම බුද්ධිය උදව් කරයි. මෙයින් අදහස් කරනු ලබන්නේ වේගවත් නිකුත් කිරීම්, අඩු දෝෂ සහ උසස් තත්ත්වයේ නිෂ්පාදන පිළිබදවයි.

2. වඩා දක්ෂ දෝෂ හඳුනාගැනීම සහ අනාවැකි
කෘතිම බුද්ධිය හට අතිවිශාල දත්ත ප්‍රමාණයක් සහ දත්ත වල ඇති රටා හරහා සෙවීමට ඇති හැකියාව දෝෂ සෙවීම සඳහා පරිවර්තනීය ලක්ෂණයක් වේ. මානව පරීක්ෂකයින්, කෙතරම් පළපුරුදු වුවත්, සමහර දෝෂ අපැහැදිලි නිසා හෝ දැඩි වෙහෙසකාරී බව නිසා මගහැරී යාමට ඉඩ ඇත. අනෙක් අතට, කෘතිම බුද්ධිය අතීත දත්ත විශ්ලේෂණය කරන අතර අවධානයට ලක් නොවන ප්රවණතා ඉක්මනින් හඳුනා ගනී. යන්ත්‍ර ඉගෙනීම(Machine Learning) භාවිතා කිරීමෙන්, අතීත දෝෂ, ප්‍රතිපෝෂණ සහ මෑත කාලීන කේත වෙනස් කිරීම් මත පදනම්ව අනාගත ගැටළු මතුවිය හැකි ස්ථාන කෘතිම බුද්ධිය හට පුරෝකථනය කළ හැක.
මෙම ක්‍රියාකාරී ප්‍රවේශය අදහස් කරන්නේ යෙදවුම මුදා හැරීමෙන් පසුව දෝෂයක් මතු වන තෙක් බලා සිටීම වෙනුවට, කෘතිම බුද්ධිය සංවර්ධකයින්ට ගැටළු ඉක්මනින් හදුනා ගැනීමට උපකාර වන බවයි. කෘතිම බුද්ධියෙහි, තීක්ෂණ බුද්ධිය සංවර්ධකයින්ට ඔවුන්ගේ විශේෂ අවධානය යොමු කළ යුත්තේ කොතැනටද යන්න පිළිබඳව මග පෙන්වයි.
3. බුද්ධිය සමඟ පරීක්ෂණවලට ප්‍රමුඛත්වය දීම
වේගවත් මෘදුකාංග සංවර්ධනයේ දී, කාලය සැමවිටම හිඟ වේ. විශේෂයෙන්ම ප්රතිගාමී පරීක්ෂණ සඳහා බුද්ධිමත් පරීක්ෂණ ප්‍රමුඛතා සමඟින් කෘතිම බුද්ධිය පියවර ගන්නේ මෙහිදීය. නිරන්තර යාවත්කාලීන කිරීම් සහ නව විශේෂාංග එකතු කිරීමත් සමඟ, යෙදුමේ සෑම අංගයක්ම සෑම විටම පරීක්ෂා කිරීමට අවශ්‍ය නොවේ. මෑත වෙනස්වීම් විශ්ලේෂණය කිරීමෙන් සහ බලපෑමට ලක්විය හැකි යෙදුමේ කොටස් හඳුනා ගැනීමෙන් කෘතිම බුද්ධිය උපකාර කරයි.
යෙදුමේ සෑම කොටසක්ම ආවරණය කිරීමට උත්සාහ කරනවා වෙනුවට, තත්ත්ව සහතික සිදු කරන කණ්ඩායම්වලට ප්‍රථමයෙන් ඉහළ ප්‍රමුඛතා ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කළ හැකි අතර, තීරණාත්මක ක්රියාකාරීත්වයන් ආරක්ෂා කර ඇති බව සහතික කරයි. මෙමගින් ගුණාත්මක භාවය පවත්වා ගනිමින් සහ ප්‍රධාන හිඩැස් මඟහරිමින් පරීක්ෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ අඩු ශ්‍රම ශක්තියකින් අවසන් කරයි.
4. අඛණ්ඩ ඉගෙනීම සහ අනුවර්තනය
කෘතිම බුද්ධියෙහි වූ විශේෂත්වය නම් ඉගෙනීමට සහ පරිණාමය වීමට ඇති හැකියාවයි. කෘතිම බුද්ධිය ක්‍රියාත්මක වන පරීක්ෂණ වැඩි වන තරමට සහ එය වැඩි දත්ත ප්‍රමාණයක් භාවිතා කරමින් නිර්මාණය කරන තරමට එය වඩාත් බුද්ධිමත් වේ. කාලයාගේ ඇවෑමෙන්, එහි ඇල්ගොරිතම මනාව සකස් කරයි, එක් එක් පුනරාවර්තන ක්‍රියාවලි සමඟ වඩාත් කාර්යක්ෂම හා නිවැරදි වේ.
උදාහරණයක් ලෙස, මෘදුකාංගයේ විශේෂිත අංගයකට වැඩි පරිශීලක ප්‍රමාණයක් පැමිණෙන්නේ නම්, කෘතීම බුද්ධිය හට ඒ ප්‍රවණතාවය හඳුනාගත හැක. එවිට තත්ත්ව සහතික ක්‍රියාවලිය සැබෑ ගෝලීය ප්‍රශ්නවලට අනුවර්තනය වීම සහතික කරමින්, එම අංගයට වැඩි අවධානයක් යොමු කර පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියක් සකස් කිරීමට හැකියාව ඇත. ඉගෙනීමට සහ අනුවර්තනය වීමට ඇති මෙම හැකියාවෙන් අදහස් වන්නේ මෘදුකාංගය වර්ධනය වන විට සහ වෙනස් වන විට, කෘතීම බුද්ධිය නිතරම එය නිරීක්ෂණය කරමින් අනුවර්තනය වීමයි, එමගින් වෙනස්වීම් සමඟ දිගින් දිගටම සාර්ථකව ක්‍රියාත්මක වේ.

5. අඛණ්ඩ ඒකාබද්ධ කිරීම සහ බෙදා හැරීම (CI/CD) තුළ කෘතීම බුද්ධිය (AI)
වර්තමාන ලෝකයේ අඛණ්ඩ මෘදුකාංග සංවර්ධනයේදී, නිරන්තරයෙන් කේතය යාවත්කාලීන කර මුදා හරින විට, කෘතීම බුද්ධිය අඛණ්ඩ ඒකාබද්ධතා සහ අඛණ්ඩ බෙදාහැරීමේ (CI/CD) නල මාර්ග තුළ පරිපූර්ණව ක්‍රියා කරයි. සාම්ප්‍රදායික තත්ත්ව සහතික(QA) ක්‍රියාවලියේ මෙන්, පසුව පරීක්ෂා කිරීම වෙනුවට, කෘතීම බුද්ධිය මෘදුකාංග සංවර්ධන ක්‍රියාවලිය තුළම එකතු වී, කේතයේ වෙනස්කම්වලට වහාම ප්‍රතිපෝෂණ ලබා දෙමින්, ස්වයංක්‍රීය පරීක්ෂණ ප්‍රතිඵල ලබා දේ.
මෙවැනි සාර්ථක ඒකාබද්ධකරණයක් නිසා ගැටලු මතු වන විටම සොයාගෙන එම කාලය තුළම විසඳා ගත හැක. එම නිසා මෘදුකාංග නිකුත් කිරීම වේගවත් හා විශ්වාසදායී වන අතර, තත්ත්ව සහතික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙන් වූ සහ කාලය කා දමන අදියරක් ලෙස නොව, සංවර්ධනයේ ස්වාභාවික කොටසක් වගේම වේගවත් ක්‍රියාවලියක් බවට පත් වේ.

කෙටියෙන් කිවහොත්, කෘතීම බුද්ධිය මගින් තත්ත්ව සහතික ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම පමණක් නොව එය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි. කාලය ගතවන කාර්යයන් ස්වයංක්‍රීය කිරීම, විය හැකි ගැටළු පුරෝකථනය කිරීම සහ නවීන සංවර්ධන භාවිතයන් සමඟ සුමට ලෙස ඒකාබද්ධ කිරීම මගින්, කෘතීම බුද්ධිය විසින් තත්ත්ව සහතික සිදු කරන කණ්ඩායම්වලට වෙන කවරදාටත් වඩා හොඳ, වේගවත් සහ විශ්වාසදායක මෘදුකාංගයක් ලබා දිය හැකි බව සහතික කරයි.
කතෘ : නෙත්මිණි වන්දනා
සමාලෝචනය : සහස්වරී සේනානායක, චමෝදය කොඩිකාර, සුමුදුනි විජේසේකර, රියාජි දෙවිඳු, චරිත් ලක්ෂාන්







