පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාව (Personalized Medicine) යනු සෞඛ්‍ය ආරක්ෂණය සඳහා වන විශේෂ ක්‍රමවේදයක් වන අතර එහිදී ඔවුන්ගේ අනන්‍ය වූ ලක්ෂණ මත පදනම්ව එක් එක් රෝගීන්ට ගැලපෙන වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සිදු කරයි. මෙම ක්‍රමවේදයේ දී පුද්ගලයෙකුගේ ප්‍රවේණි විද්‍යාව (Genetics), ජීවන රටාව, පරිසරය සහ වෙනත් සාධක ඔවුන්ගේ සුවිශේෂී ලක්ෂණවල කොටසක් ලෙස සැලකේ. එක් සමාජ කොටසකට හෝ වයස් කාණ්ඩයකට ගැලපෙන ප්‍රතිකාරයක් භාවිතා කරනවා වෙනුවට, පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාව, එනම් එක් එක් පුද්ගලයාට වඩාත් සුදුසු වන්නේ කුමක්ද යන්න සලකා බැලීමෙන් වඩාත් ඵලදායී සහ ඉලක්කගත ප්‍රතිකාර සැපයීම අරමුණු කරයි. මෙම ක්‍රමවේදයේ දී වඩා හොඳ ප්‍රතිකාර ප්‍රතිඵල ලබා ගැනීම සහ සහ අතුරු ආබාධ අවම කර ගැනීම සිදුකරගත හැකිය.

කෘතිම බුද්ධිය භාවිතා කිරීමෙන් අපට විශාල සංකීර්ණ සෞඛ්‍ය දත්ත ප්‍රමාණයක් කාර්යක්ෂමව කළමනාකරණය කළ හැකි අතර රෝගීන් සඳහා වඩාත් නිවැරදි රෝග විනිශ්චය සහ වඩාත් ඵලදායි ප්‍රතිකාර ක්‍රම ලබා දීමට එය උපකාරී වේ. මෙම ලිපියෙන් අපි කෘතිම බුද්ධිය විසින් පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාව පරිවර්තනය කරන්නේ කෙසේද? රෝග හඳුනා ගැනීම, රෝග විනිශ්චය වැඩිදියුණු කරන්නේ කෙසේද? එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රය අනාගතයේ වෙනස් වන්නේ කෙසේද යන්න පිළිබඳව විමසා බලමු.
පුද්ගලාරෝපිත(Personalized Medicine) ප්‍රතිකාර ක්‍රමවේදය සඳහා කෘතිම බුද්ධියේ බලපෑම
එකම රෝගයක් සඳහා එකම ප්‍රතිකාරය රෝගීන් කිහිප දෙනෙකුට භාවිතා කිරීම සාමාන්‍ය වෛද්‍ය ක්‍රමයේ දී වෛද්‍යවරුන් භාවිත කරන ක්‍රමවේදයයි. නමුත් එහිදී ඔවුන්ගේ ජානමය තොරතුරු, වෛද්‍ය ඉතිහාසය සහ ජීවන රටා වැනි සාධක නොසලකා හැරීම විශාල අඩුපාඩුවකි. මෙම විශාල දත්ත ප්‍රමාණයක් එකවර සාමාන්‍ය වෛද්‍යවරයෙකුට ග්‍රහණය කර ගත නොහැකිවීම මෙම ගැටලුවට මූලික හේතුව වේ.

නමුත් කෘතීම බුද්ධිය භාවිතා කිරීමෙන් ජානමය තොරතුරු, වෛද්‍ය වාර්තා සහ ජීවන රටා වැනි සාධක ඇතුළත් විශාල දත්ත ප්‍රමාණයක් එකවර විශ්ලේෂණය කිරීමේ හැකියාව මේ වන විට ලැබී ඇත. මෙම දත්තවල ඇතුළත් විවිධ සංකීර්ණ රටා කෘතීම බුද්ධිය මගින් පහසුවෙන් හඳුනාගත හැකි වීම නිසා එක් එක් රෝගියාට ගැලපෙන පුද්ගලාරෝපිත සෞඛ්‍ය සැලසුම් නිර්මාණය කිරීමට මේ වන විට හැකියාව ලැබී ඇත. වැඩි අවදානමක් ඇති අය හඳුනා ගැනීමටත්, හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ට ප්‍රමුඛතාවය ලබාදීමටත්, එක් එක් පුද්ගලයා සඳහා අවශ්‍ය ඖෂධ මාත්‍රාව නිවැරදිව තීරණය කිරීමටත් මෙමගින් හැකියාව ලැබී ඇත.
ප්‍රවේණික වෛද්‍ය විද්‍යාව (Genetic Medicine) සඳහා බලපෑම
පුද්ගලාරෝපිත ප්‍රතිකාර ක්‍රමවේදය සඳහා අත්‍යවශ්‍ය වන ජානමය දත්ත විශ්ලේෂණය කිරීමේදී එය වඩාත් වේගවත්, වඩාත් නිවැරදිව සහ කාර්යක්‍ෂමව සිදු කිරීම මගින් ජානමය වෛද්‍ය විද්‍යාව කෙරෙහි කෘතිම බුද්ධිය සැලකිය යුතු ලෙස බලපෑමක් ඇති කර ඇත. මිනිසෙකුගේ ජානවල විශාල දත්ත ප්‍රමාණයක් අන්තර්ගතවන අතර මේවා විශ්ලේෂණය කිරීම ඉතා අපහසු කටයුත්තකි. නමුත් කෘතිම බුද්ධිය මගින් ක්‍රියාත්මක වන ඇල්ගොරිතම වලට මෙම දත්ත ඉතා පහසුවෙන් ඉක්මනින් විශ්ලේෂණය කළ හැක. එසේම ජානමය රටා හෝ වෙනස්කම් මගින් විශේෂිත රෝග කලින් හඳුනාගැනීමට මෙම ඇල්ගොරිතම වලට හැකියාව ඇත. මෙමගින් මිනිස් බුද්ධියට හසු නොවන වඩාත් සියුම් වැදගත් තොරතුරු පහසුවෙන් හඳුනා ගත හැක.
ජානමය විකෘති මගින් ඇතිවිය හැකි පිළිකා වැනි භයානක රෝග කලින් හඳුනාගැනීමට ද කෘතිම බුද්ධිය බෙහෙවින් උපකාරී වේ. මෙම විකෘතියන් කලින් හඳුනා ගැනීම තුළින් සුදුසු ප්‍රතිකාර සඳහා රෝගීන් යොමු කරමින් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ජානමය වෛද්‍ය විද්‍යාව තුළදී පුද්ගලයකුගේ ජාන සැකැස්ම මත පදනම්ව ප්‍රතිකාර ලබාදීම ප්‍රධාන වශයෙන් අරමුණු කර ගනී. මෙහිදී කෙනෙකුගේ ජාන විශ්ලේෂණය කිරීමෙන් විවිධ ඖෂධ සඳහා ප්‍රතිචාර දක්වන ආකාරය කෘතිම බුද්ධිය භාවිතා කිරීමෙන් පුරෝකථනය කළ හැක. එමගින් රෝගීන් හට වඩාත් ගැලපෙන ඵලදායි ඖෂධය ලබාදීමෙන් අතුරු ආබාධ ඇතිවීමේ අවධානමද අඩු කරගත හැකි වේ.
එසේම නව ඖෂධ නිෂ්පාදනයේ දී විවිධ ජාන සඳහා එම ඖෂධය කෙසේ බලපාවිද යන්න නිවැරදිව විශ්ලේෂණය කරමින් පුරෝකථනය කිරීමට කෘතීම බුද්ධිය බෙහෙවින් උපකාරී වේ. විවිධ වූ ජානමය දත්ත උපයෝගී කරගනිමින් සමාජයට වැදගත් වන නව ඖෂධ නිෂ්පාදනයට මෙය මහත් රුකුලකි. උදාහරණයක් ලෙස පිළිකා වර්ධනය සඳහා සම්බන්ධ වන ජානමය ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් එම පිළිකාව සඳහා ප්‍රතිකාරයක් සොයා ගැනීමට කෘතීම බුද්ධිය භාවිතා කළ හැකිය. මෙය නව ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීමට මහත් උපකාරයක් වේ.

එසේම පවුල් පරිසරය තුළින් පැමිණිය හැකි හෘද රෝග වැනි ජානමය රෝග කල්තියා හඳුනා ගැනීමට කෘතීම බුද්ධිය භාවිතා කරමින් කරන විශ්ලේෂණයකට පහසුවෙන් හැකියි. එමගින් අවදානමක් ඇතිවීමට පෙර වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමට රෝගීන්ට ඉඩ ප්‍රස්ථාව සැලසේ.
කෘතීම බුද්ධිය මත පාදක වූ රෝග විනිශ්චය සහ විශ්ලේෂණය
අනාගත වෛද්‍ය ප්‍රතිකාර වල ප්‍රගතියක් අත් කර ගැනීමට නම්, රෝග විනිශ්චය සඳහා කෘතිම බුද්ධිය භාවිත කිරීම අත්‍යවශ්‍ය අංගයක් වේ. සෑම පුද්ගලයෙකුම ඖෂධ සඳහා එකම ආකාරයෙන් ප්‍රතිචාර නොදක්වයි. එබැවින් එක් එක් පුද්ගලයාට අදාළව ගැලපෙන මාත්‍රාව සහ ප්‍රතිකාර සැලසුම් සකස් කිරීම ඉතා වැදගත් වේ. මෙසේ ප්‍රතිකාර සැලසුම් සකස් කිරීමට කලින් සඳහන් කළ ආකාරයට වෛද්‍ය ඉතිහාසය, ජීවන රටාව, ජාන විද්‍යාව සහ ශරීර සංයුක්තය වැනි විශාල සාධක ප්‍රමාණයක් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මෙසේ විශාල දත්ත ප්‍රමාණයක් සාමාන්‍ය මිනිසුන්ගේ අතින් විශ්ලේෂණය කිරීමේදී දෝෂ ඇති වීමට සහ වැදගත් කරුණු මඟ හැරී යාමට වැඩි ඉඩකඩක් ඇත. නමුත් විශාල දත්ත ප්‍රමාණයක් එකවර විශ්ලේෂණය කිරීම කෘතිම බුද්ධියට ඉතා පහසු කරුණකි. එමගින් වඩාත් නිවැරදි රෝග විනිශ්චයක් සහ නිර්දේශයක් ලබා ගැනීමට ඉඩ සලසයි.
කෘතිම බුද්ධිය භාවිතා කිරීමෙන් වෛද්‍යවරුන්ට විවිධ ආකාර වලින් දත්ත විශ්ලේෂණය කිරීමට සහ විවිධ රෝග සඳහා පාදක වන මූලික ලක්ෂණ පහසුවෙන් හඳුනාගත හැකියි. උදාහරණයක් ලෙස පුහුණුවූ වෛද්‍ය වෘත්තිකයන්ට පවා මගහැරි යා හැකි X-ray සහ MRI වාර්තා වල ඇති සියුම් කරුණු කෘතීම බුද්ධිය බලගැන්වූ යෙදවුම් මගින් පහසුවෙන් හඳුනාගත හැකියි. මීට අමතරව කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන රෝග විනිශ්චය කිරීමේ මෙවලම් මගින් රෝගීන්ගේ තොරතුරු ඉතා පහසුවෙන් යාවත්කාලීන කරගත හැකියි.
කෘතීම බුද්ධිය භාවිතයෙන් පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාවේ දී ඇති විය හැකි අභියෝග සහ සදාචාරාත්මක ගැටලු
පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාව සඳහා කෘතිම බුද්ධිය ඒකාබද්ධ කිරීමේදී ඒ සඳහා ඇති විය හැකි අභියෝග කිහිපයක් ඇත. මෙහිදී ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ රෝගියාගේ සෞඛ්‍ය දත්ත පිළිබඳව ඇති පෞද්ගලිකත්ව ගැටලුවයි. එනම් මෙවැනි වැදගත් සෞඛ්‍ය දත්ත බාහිර පාර්ශව කෙරෙහි නිරාවරණය වීම රෝගියාට ඇතිවිය හැකි ඉතා බරපතල ගැටලුවකි. සෞඛ්‍ය සේවය සඳහා කෘතිම බුද්ධිය භාවිතා කිරීමේදී මෙම දත්ත පිළිබඳ වගවීම යන ගැටලුව ප්‍රධාන අභියෝගයකි. මේ වන විට මෙම අභියෝගයට මුහුණ දීමට බොහෝ අධ්‍යන සහ පරීක්ෂණ සිදු කරමින් පවතී. මෙවැනි ගැටලු වලට සාර්ථක විසඳුම් ලබාදීම තුළින් පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාවට කෘතීම බුද්ධිය පහසුවෙන් ඒකාබද්ධ කළ හැකිය.
පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාවේ අනාගතය

කෘතිම බුද්ධිය සමඟ මුසු වූ පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාවේ අනාගතය පිළිබඳව අනාවැකි ඵල කිරීම ඉතා අපහසු කටයුත්තකි. මන්දයත් එම ක්ෂේත්‍රයේ දියුණු වීම ඉතා වේගයෙන් සිදුවීමයි. නමුත් මෙමගින් වඩාත් නිවැරදි සහ ස්වයංක්‍රීයකරණය වූ ප්‍රතිඵලයක් බිහිවීම සක්සුදක් සේ පැහැදිලිය.
පැළඳිය හැකි මෙවලම් සමඟ කෘතිම බුද්ධිය ඒකාබද්ධ කිරීමෙන් දුරස්ථව රෝගීන් නිරීක්‍ෂණය කිරීම සහ අඛණ්ඩව දත්ත රැස් කිරීම ස්වයංක්‍රීයකරණය කළ හැකිය. සෞඛ්‍ය සේවා සපයන්නන්ට මෙමගින් රෝගීන් සමඟ වඩාත් සමීපව කටයුතු කළ හැකිය.
කෘතිම බුද්ධියෙන් හැඩගැන්වූ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ, වෛද්‍ය වෘත්තිකයන්ට ප්‍රතිකාර කිරීමේදී ඇතිවිය හැකි අඩුපාඩු අවම කර ගැනීමෙන් රෝගීන් හට වඩාත් ඵලදායී ප්‍රතිඵලයක් ළඟා කර දිය හැකියි. මෙම නව තාක්ෂණය මුසුවීම පුද්ගලාරෝපිත වෛද්‍ය විද්‍යාවේ නව යුගයක ආරම්භයයි.







