උපේක්ෂා උඩුවැරැල්ල –
2026 මැයි 4 වන දින තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වීමත් සමඟ, සිනමා නළුවෙකු ලෙස සිට දේශපාලනඥයෙකු බවට පත් වූ තලපති විජේ (සී. ජෝසප් විජේ) සහ ඔහු විසින් වසර දෙකකට පෙර පිහිටුවන ලද ‘තමිලග වෙට්ට්‍රි කසාගම්’ (TVK) පක්ෂය නව ඉතිහාසයක් සනිටුහන් කළේය. මුල් ඡන්ද ප්‍රතිඵල අනුව පෙනී ගියේ ප්‍රාන්ත සභාවේ ආසන 234න් 100කට අධික සංඛ්‍යාවක TVK පක්ෂය ඉදිරියෙන් සිටින බවයි. එමඟින් තනි විශාලතම පක්ෂය බවට පත්වීමට ද ඔවුන්ට හැකි වී තිබේ. විජේ තරග කළ පෙරම්බූර් සහ තිරුචිරප්පල්ලි නැගෙනහිර යන ආසන දෙකෙන්ම ඔහු ඉතා පහසුවෙන් ඉදිරියට පැමිණ සිටියේය.
2024 පෙබරවාරි මාසයේදී විජේ මෙම පක්ෂය ආරම්භ කරන විට, බොහෝ විශ්ලේෂකයින් මෙය හුදෙක් සිනමා තරු බලය පරීක්ෂා කරන අත්හදා බැලීමක් ලෙස සලකා බැහැර කළහ. කිසිදු ප්‍රධාන සන්ධානයකට එක් නොවූ නව පක්ෂයකට, තමිල්නාඩුවේ දශක ගණනාවක් මුල් බැසගත් ප්‍රබල ද්‍රවිඩ පක්ෂ (DMK සහ AIADMK) වලට අභියෝග කළ හැකි යැයි විශ්වාස කළේ ඉතා සුළු පිරිසකි. කෙසේ වෙතත්, 1977 වසරේදී එම්.ජී. රාමචන්ද්‍රන් ලැබූ ජයග්‍රහණයෙන් පසු, තමිල්නාඩු දේශපාලනයේ තනිව තරග කර ජයග්‍රහණය කරා ගමන් කරන පළමු පක්ෂය ලෙස TVK පක්ෂය ඉතිහාසයට එක්වෙමින් සිටියි.

දේශපාලන ප්‍රවේශය සහ පොරොන්දු
දෙමළ සිනමාවේ දැවැන්තම සුපිරි තරුවක් වන විජේ, 2024 පෙබරවාරි මාසයේදී TVK පක්ෂය පිහිටුවමින් නිල වශයෙන් දේශපාලනයට අවතීර්ණ වූයේ ජනතාවට සේවය කිරීම සඳහා තමා සිනමාවෙන් සමුගන්නා බව ප්‍රකාශ කරමිනි. පක්ෂයේ පළමු ප්‍රධාන මහජන රැළියේදී ඔහු “දූෂිත ද්‍රවිඩ පවුල් දේශපාලනය” දැඩි ලෙස විවේචනය කළේය. නවීන ද්‍රවිඩ වටිනාකම්, දෙමළ අභිමානය, දූෂණයට එරෙහි වීම සහ සාමාන්‍ය ජනතාවට ප්‍රායෝගිකව උපකාර කිරීම පදනම් කරගත් නව ගමනක් ඔහු ජනතාවට පොරොන්දු විය.
2026 අප්‍රේල් මාසයේදී මැතිවරණයට පෙර නිකුත් කරන ලද පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය කාන්තාවන් ඉලක්ක කරගත්, පොරොන්දු වලින් සමන්විත විය. එහි ඇතුළත් ප්‍රධාන පොරොන්දු කිහිපයක් මෙසේය:
- නිවාසවල ගෘහ මූලිකත්වය දරන කාන්තාවන් සඳහා මාසික මූල්‍ය ආධාරය රුපියල් 2,500 දක්වා ඉහළ නැංවීම (පෙර තිබූ රුපියල් 1,000 සිට).
- වසරකට නොමිලේ ගෑස් සිලින්ඩර 6ක් ලබා දීම.
- රජයේ බස් රථවල කාන්තාවන් සඳහා නොමිලේ ගමන් පහසුකම් සැලසීම.
- අඩු ආදායම්ලාභී මනාලියන් සඳහා රන් ග්‍රෑම් අටක් සහ පට සාරියක් ලබා දීම.
- අලුත උපන් දරුවන් වෙනුවෙන් රන් මුදුවක් සහ පිළිගැනීමේ කට්ටලයක් පිරිනැමීම.
- පාසල් හැරයාම වැළැක්වීම සඳහා මව්වරුන්ට සහාය වීම සහ නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීම.
- 12 වන ශ්‍රේණියේ සිට පී.එච්.ඩී (PhD) දක්වා අධ්‍යාපනය සඳහා රුපියල් ලක්ෂ 25ක් දක්වා ඇප රහිත අධ්‍යාපන ණය ලබා දීම.
- සුළු ගොවීන්ගේ සියලුම ණය කපා හැරීම.
- ධීවරයින් සඳහා විශේෂ සහන: මත්ස්‍ය අස්වැන්න සඳහා අවම සහතික මිලක්, ධීවර තහනම් කාලසීමාව තුළ රුපියල් 27,000ක සහන දීමනාවක්, සහනදායී ඩීසල්, රක්ෂණ සහ නිවාස පහසුකම්.
කෙසේ වෙතත් විජේ ගේ මේ පොරොන්දු ඉදිරිපත් වන්නේ මිල්නාඩුවේ මුළු ණය බර රුපියල් ට්‍රිලියන 10.7 (ලක්ෂ කෝටි 10.7) ඉක්මවා ගොස් තිබියදී ය. මෙය ප්‍රාන්තයේ දළ නිෂ්පාදිතයෙන් (GSDP) 26%කට වඩා වැඩි ප්‍රමාණයකි. ප්‍රාන්තයේ ආදායම් හිඟය ද (Revenue Deficit) ඉහළ මට්ටමක පවතින පසුබිමක, විජේ පොරොන්දු වී ඇති ආකාරයේ විශාල සුභසාධන සහන ලබා දීමට නම් අතිවිශාල මූල්‍ය ප්‍රතිපාදනයක් අවශ්‍ය වේ. මේ පොරොන්දු එන්නේ මධ්‍යම රජයෙන් ලැබෙන ප්‍රතිපාදන සීමා සහිත වී ඇති පසුබිමකය. එය ප්‍රාන්තයේ ණය අර්බුදය උග්‍ර කරන ප්‍රායෝගික තත්ත්වයක් ඇති කිරීම අපේක්ෂා කළ හැකිය.
මේ සිනමා නළුවාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ධනය බෙදා දීමේ ක්‍රමවේදයක් මිසක් ධනය උත්පාදනය කිරීමේ ආර්ථික සැලැස්මක් නොවේ. කාර්මිකව දියුණු ප්‍රාන්තයක් වූ තමිල්නාඩුවේ තාක්ෂණික නවෝත්පාදන, විදේශ ආයෝජන ආකර්ශනය, රැකියා උත්පාදන, හෝ දිගුකාලීන ව්‍යුහාත්මක වෙනස්කම් සහිත දැක්මක් නොපෙනේ.
බොහෝ විට දේශපාලනඥයන් බලයට පැමිණි පසු “මූල්‍ය තත්ත්වය පිළිබඳ ධවල පත්‍රිකාවක්” නිකුත් කරමින්, “කලින් සිටි රජය භාණ්ඩාගාරය හිස් කර ඇති බැවින් පොරොන්දු ඉටු කිරීමට කාලය අවශ්‍ය බව” පවසමින් මඟහැරීම සාමාන්‍ය ක්‍රමයය. විජේට ද මෙවැනිම තත්ත්වයකට මුහුණ දීමට සිදු වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින්ගේ විශ්වාසය ය.
දිට්වා ආපදාවට පසු ශ්‍රී ලංකාවට එන අලුත්ම ආපදාව ද?
විජේගේ දේශපාලනය තවමත් පවතින්නේ “ආකර්ෂණීය තිර පිටපතක්” ලෙසය. එම පිටපතේ ජවනිකාවල නිශ්චිත කොටස් ලංකාව ඉලක්ක කරගෙන රඟ දක්වන ඉඟි විජේගේ මැතිවරණ ප්‍රචාරණ වේදිකාවේත් පල වුනේය.
ඔහු දේශපාලනයට ප්‍රවේශ වීමේ සැලැස්ම සහ එහිදී ඔහු තෝරා ගන්නා පටු මජර වාර්ගික හැඟීම් කුළුගන්වන හැසිරීමේ ස්වරූපය 2008 වසරේදී ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේදී පෙනුනේය. සිවිල් යුද්ධය එහි තීරණාත්මක අවසන් අදියරට එළඹෙමින් තිබූ 2008 ඔක්තෝබර් 21 වන දින, තමිල්නාඩුවේ නාගපට්ටිනම්හිදී සිය රසික සංගමය සමඟ දැවැන්ත විරෝධතාවයකට එක්වෙමින් විජේ ශ්‍රී ලංකා රජයට සෘජු හා ප්‍රකෝපකාරී අනතුරු ඇඟවීමක් සිදු කළේය. එහිදී ඔහු කියා සිටියේ, “ශ්‍රී ලංකාව අසල්වැසි රටක් නිසා අප මෙතෙක් ඉවසා සිටීමට උත්සාහ කළත්, අපගේ ඉවසීම පරීක්ෂා නොකරන ලෙසයි.” තමිල්නාඩු ධීවරයින්ට එල්ල වන ප්‍රහාර නතර නොකළහොත් “ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් අතුරුදහන් වනු ඇති” බවට දරුණු ප්‍රකාශයක් කළ ඔහු, ලාංකීය දෙමළ ජනතාවට එල්ල වන සෑම ප්‍රහාරයක්ම තමාට එල්ල වන පෞද්ගලික ප්‍රහාරයක් ලෙස සලකා ඔවුන් වෙනුවෙන් සටන් වදින බවට එදා ප්‍රතිඥා දුන්නේය. ඔහු තමුන්ව හඳුන්වා ගත්තේ කොටි පැටියෙක් ලෙසය.

නාගපට්ටිනම් රැළියෙන් නොනැවතුණු විජේ, සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරමින් 2008 නොවැම්බර් 15 වන දින චෙන්නායි හි චෙපොක් ප්‍රදේශයේ පැවැති විශේෂ එක්දින උපවාසයට ද එක් විය. දකුණු ඉන්දීය සිනමා කලාකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවයේදී, මීට පෙර තමන් කළ “කොටි පැටියා” ප්‍රකාශය පිළිබඳ එල්ල වූ විවේචනවලට ඔහු සෘජුවම පිළිතුරු දුන්නේය. එහිදී ඔහු අවධාරණය කළේ තමන් එම ප්‍රකාශය කළේ පූර්ණ දැනුවත්භාවයකින් සහ දැඩි අභිමානයකින් යුතුව බවය. සිනමා තිරයේ වීරයෙකු වීමට වඩා සැබෑ ජීවිතයේදී තමන්ගේම “ලේ නෑයන්” වෙනුවෙන් පෙනී සිටීම උදාර කර්තව්‍යයක් ලෙස හැඳින්වූ ඔහු, ශ්‍රී ලංකාවේ දෙමළ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දීය මධ්‍යම රජය වහාම මැදිහත් විය යුතු බවට බලපෑම් කළේය.
දශක දෙකකටත් පෙර චෙන්නායි දේශපාලන වේදිකාවේදී ඔහු දැක්වූ මෙම අන්තවාදී නැඹුරුව, වත්මන් තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස ඔහුගේ අනාගත දේශපාලන ක්‍රියාකාරිත්වය සහ ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ආකල්පය පිළිබඳව කල්තියා කියවාගත හැකි පැහැදිලි පෙරනිමිත්තක් බව කිව යුතුව තිබේ. .
මේ තත්ත්වය තුළ තලපති විජේගේ ජයග්‍රහණය යනු හුදෙක් තමිල්නාඩුවේ පාලන බලය මාරුවීමක් පමණක් නොවේ; එය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ කලාපීය රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට නව බලපෑමක් එල්ල කළ හැකි සංකීර්ණ සන්ධිස්ථානයකි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා රජයට මුහුණ දීමට සිදුවන ආපදාවේ ස්වභාවය කොටස් කිහිපයකින් පුරෝකථනය කළ හැකිය.

ජාතිවාදී හැඟීම් උත්සන්න කිරීම සහ බෙදීම් ඇති කිරීම – විජේ සිය දේශපාලන පදනම ගොඩනගා ඇත්තේ තමිල්නාඩුවේ ‘දෙමළ අභිමානය’ (Tamil Pride) සහ ‘දෙමළ අනන්‍යතාවය’ (Tamil Identity) මුල් කරගනිමින්. ඔහුගේ දේශපාලන වේදිකාවේදී ඔහු භාවිත කරන භාෂාව සහ සංකේත (විශේෂයෙන් එල්.ටී.ටී.ඊ නායකයා පිළිබඳ දැක්ම) ශ්‍රී ලංකාවේ සංහිඳියාවට සෘජු තර්ජනයකි. ශ්‍රී ලංකාව තුළ එකම ශ්‍රී ලාංකික ජාතියක් පිළිබඳ විශාල පිබිදීමක් සහිත දියුණු සංවාදයක් ඇති වෙමින් ඇති මොහොතක දේශපාලන පරිනතියක් නැති ජනප්‍රියවාදී මනෝරූපයක් සහිත ප්‍රපංචයක් ජාතිවාදය මිට මොලවාගෙන තමිල්නාඩුවේ බලය මෙහෙයවීම වෙනුවෙන් පත් වී සිටී.
තමිල්නාඩුව තුළ මෙවැනි දැඩි ජාතිකවාදී ප්‍රවණතාවක් ඇතිවීම, ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර දේශපාලන කණ්ඩායම්වලට ද සිය ඉල්ලීම් වඩාත් අන්තවාදී දිශාවකට රැගෙන යාමට මානසික උත්තේජනයක් සපයයි. මෙය ලංකාව තුළ යළිත් ජාතිවාදී විභේදනයන් පැන නැගීමටත්, දේශීය දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටීමටත් හේතු විය හැකිය.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට සෘජුව මැදිහත් වීමේ අවදානම – තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ ගැඹුරු සංස්කෘතික හා භාෂාමය සබඳතාවයකි. තලපති විජේට ආශක්ත වූ ලක්ෂ සංඛ්‍යාත රසික පිරිසක් උතුරේත් වෙති. එය අප පිළිගත යුතු කාරණාවකි. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යම රජය සතු වුවද, ප්‍රාන්ත ආණ්ඩුවකට මධ්‍යම රජය මත විශාල බලපෑමක් එල්ල කළ හැකිය. විජේගේ මැදිහත් වීමෙන් ඉන්දියාවෙන් සිදුවන ඒ පලපෑම උතුරේ ඔහුගේ රසිකයෝත් අපේක්ෂා කරනු ඇත. එමෙන්ම විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවීමේදී තමිල්නාඩුවට මීට වඩා වැඩි මැදිහත්වීමක් තිබිය යුතු බව විජේ දැනටමත් ප්‍රකාශ කර තිබේ.
මේ කරුණු පෙළ ගැසෙන ආකාරයට අප අපේක්ෂා කළ යුතු තත්ත්වයන් තිබේ.
13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම, උතුරු-නැගෙනහිර ඉඩම් සහ පොලිස් බලතල ලබා දීම වැනි කරුණුවලදී ඉන්දීය මධ්‍යම රජය හරහා ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල කිරීමට විජේ උත්සාහ කරනු ඇත. ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි තමිල්නාඩුව සැමවිටම බලපෑම් කළ ඉතිහාසයක් අපට තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සිය “ලේ නෑයන්” ලෙස හැඳින්වීම හරහාම පැහැදිලි වන්නේ ඔහුට දේශසීමාවෙන් ඔබ්බට ගිය දේශපාලන න්‍යාය පත්‍රයක් පවතින බවය.

ධීවර ගැටලුව සහ කච්චතීවු දූපතේ අර්බුදය – විජේගේ මැතිවරණ පොරොන්දු අතර කච්චතීවු දූපත යළි ඉන්දියාවට ලබාගැනීම ප්‍රධාන තැනක් ගනී. කච්චතිව් අත්පත් කරගැනීමේ හඬ මීට වඩා ප්‍රබල වනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ භූමියට එල්ල වන සෘජු අභියෝගයකි.
තමිල්නාඩුවේ නව පාලනය ධීවරයින්ට ලබා දෙන අසීමිත සහයෝගය රටේ මුහුදු සීමාව ආක්‍රමණය කරමින් සිදුකරන ධීවර කොල්ලය වඩාත් නිර්දය සහ බිහිසුණු මට්ටමකට පත් වීමේ අවදානමක් තිබේ. මේ කැළඹීම් හේතුවෙන් දෙරටේ නාවික හමුදා අතර ගැටුම්කාරී තත්ත්වයන් වර්ධනය විය හැකිය. මෙය ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ආරක්ෂාව සහ ධීවර කර්මාන්තය කෙරෙහි බරපතළ බලපෑමක් එල්ල කරනු ඇත.
මේ වනවිටත් ඉන්දියානු ධීවර ආක්‍රමණ හේතුවෙන් උතුරේ ධීවරයෝ අන්ත අසරණ වී සිටිති. ඒ වෙනුවෙන් දේශපාලන විසඳුමක් සොයා ගැනීමට රජය උත්සාහ කරමින් සිටින පරිසරයක තමිල්නාඩුවේ බලය විජේ අත් කරගෙන තිබේ..
රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික අර්බුද – ශ්‍රී ලංකාව සිය ආර්ථිකය යළි ගොඩනැගීමට උත්සාහ කරන මොහොතක, ඉන්දියාවේ ප්‍රබල ප්‍රාන්තයකින් එල්ල වන මෙවැනි “සතුරු” දේශපාලන ස්ථාවරයන් ආයෝජන සහ ද්විපාර්ශ්වික සහයෝගීතාවලට බාධාවකි.
විජේගේ පක්ෂය සඵර්ෂ කරන්නේ සිනමාත්මක ආකාරයෙන් පෙළ ගැසෙන ප්‍රකෝපකාරී දේශපාලනයේ ජනප්‍රිය මානයන්ය. එය ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ යාන්ත්‍රණය තුළ දුටුවේය. දෙමළ ජාතිවාදි නැඹුරුවක් සහිත ඔහුගේ ප්‍රවේශයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර ඇති ඉන්දීය සමාගම්වලට පවා දේශපාලන පීඩනයක් එල්ල කළ හැකි අවදානමක් නිර්මාණය විය හැකි බව විශලේෂකයෝ පවසති. මෙය ශ්‍රී ලංකාවේ බලශක්ති සහ යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි වක්‍රව බලපානු ඇත.
‘දේශපාලන රංගනය’ සහ ‘ප්‍රායෝගික පාලනය’ හරහා ඇතිවන කලාපීය ගැටුම – ඇත්තටම විජේගේ ආර්ථික දැක්ම සහන මල්ලකට පමණක් සීමා වී ඇත. අනෙක් අතට ඔහුට තමිල්නාඩුව තුළ සිය පොරොන්දු ඉටු කිරීමට ඇති හැකියාව අල්පය. ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ‘බාහිර සතුරෙකු’ හෝ ‘බාහිර ප්‍රශ්නයක්’ නිර්මාණය කිරීම දේශපාලන උපක්‍රමයකි. එය සිනමාත්මක තිර පිටපත් රචනයටත් එකඟය.
මෙහිදී ඔහුට ඇති පහසුම ඉලක්කය වන්නේ ‘ශ්‍රී ලංකාවේ දෙමළ ගැටලුවය. සිය දේශීය අසාර්ථකත්වය වසා ගැනීමට ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ජාතිවාදී සහ ප්‍රකෝපකාරී ස්ථාවරයන් දැඩි කිරීමට ඇති ඉඩකඩ පිළිබඳ රටක් ලෙස අප අවධානයෙන් සිටිය යුතුව තිබේ. .
එම්.ජී. රාමචන්ද්‍රන්, ජයලලිතා සහ කරුණානිධි වැනි සිනමා තරු ප්‍රාන්තයේ මහ ඇමතිවරුන් බවට පත් වූ දීර්ඝ ඉතිහාසයක් තමිල්නාඩුවට ඇත. එහිදී බොහෝ විට ඡන්දදායකයින්ට රිදී තිරයේ වීර ප්‍රතිරූපය සහ සැබෑ පාලනය වෙන්කර හඳුනා ගැනීම අසීරු විය. ඒ නොපැසුණු චින්තන ස්වරූපය යළිත් පුනරුච්ඡාරණය වී තිබේ.
විජේගේ ප්‍රතිපත්ති ප්‍රකාශය, ඊළාම් දෙමළ ජනතාව පිළිබඳ ඔහුගේ ප්‍රකාශ සහ මෙම මැතිවරණ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් මෙන්ම සිවිල් සමාජය ද සමීපව නිරීක්ෂණය කරමින් ගැඹුරින් අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවය දැන් අතිශය තීරණාත්මක ලෙස මතු වී තිබේ. මක්නිසාද යත් තමිල්නාඩුවේ විජේ ආගමනය ලංකාවට දිට්වා වැනි ආපදාවක් ලෙස නැගී එම වළක්වා ගැනීමට උපාය මාර්ගික පෙළගැස්මක් අවශ්‍ය නිසාය.
.







