බ්‍රහස්පතින්දා, ජූලි 2, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුරේෂ් සලේගේ දුරකතන සහ පරිගණක මුරපද CIDයට දෙන්නැයි නියෝග කරමින්  කොටුව මහේස්ත්‍රාත් පිටු 23කින් දැනුම් දුන්  දීර්ඝ නියෝගය මෙන්න!

by editor
ජූලි 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

( සුභාෂිණී සේනානායක – දිනමිණ  )

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේට අයත් ඔහුගේ දුරකතන සහ ලැප්ටොප් පරිගණක මුරපද වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (01) නියෝග කළේය.

විමර්ශන සිදු කිරීමට මුරපදය අවශ්‍ය බවත් ඒවා ලබාදෙන ලෙස දැනුම් දුන්නද මෙතෙක් ලබාදී නැති බවත් අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයට කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සිදු කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.

සුරේෂ් සලේ පසුගිය පෙබරවාරි මස 25 වැනි දින පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබයි‍. මේ වනවිට ඔහු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දිලීප පීරිස් අධිකරණය හමුවේ කියා සිටියේය.

පෙර දින පැමිණිල්ල සහ විත්තිය විසින් සිදු කරන ලද ඉල්ලීම්වලට අදාළව පිටු 23කින් යුක්ත දීර්ඝ නියෝගය සිදු කරමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග නිකුත් කළේය.

ඉල්ලීම් රැසක් ප්‍රතික්ෂේප වෙයි

RelatedPosts

ඩෙංගු නිසා සෞන්දර්ය විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසෙයි!

තමිල්නාඩුවේ විජේගේ රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළි වෙයි: කෝටි 35ක දේශපාලන ඩීල් එකක් මාට්ටු!

කාදිනල් හිමිපාණන්ට එල්ල වන චෝදනා රදගුරු සම්මේලනය දැඩි ලෙස හෙළා දකියි!

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ මූලිකත්වයෙන් සිදු කරන විමර්ශන වෙනත් ඕනෑම අංශයකට මාරු කරන ලෙස කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

එසේම සුරේෂ් සලේට නි‍වෙසින් ගෙනෙන කියවීමට පොත්, පුවත්පත්, නඩුවට අදාළ ලේඛන, පනත්, කඩදාසියක් සහ පෑනක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

අපරාධ උච්චාරණයක් නොවන ප්‍රකාශයක් මහේස්ත්‍රාත්වරයා හමුවේ කිරීමට සුරේෂ් සලේ වෙනුවෙන් නීතිඥවරුන් සිදු කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනුකර ඇති එක සහ දෙක සැකකරුවන් වන ජෙගීල්… පාස් සහ සරත් සමන්ත දෙදෙනා එම චෝදනාවලින් නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනුකර සාක්ෂි ඉදිරිපත් කර ඇති බැවින් සහ නිදහස් කිරීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නැති බැවින් ඔවුන් දෙදෙනා නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම් දුන්නේය.

සූම් තාක්ෂණයෙන් නිරීක්ෂණයට නියෝග

සුරේෂ් සලේ විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගය ඉවත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම පිළිබඳ නියෝගය සිදු කරමින් ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් එම ඉල්ලීම සංශෝධනය කරන බවත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී සූම් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.

සුරේෂ් සලේ නමැති සැකකරුට ලබාදී ඇති නීතිඥ ප්‍රවේශය ඉවත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රතික්ෂේප කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට බාධා කරමින් සහ අධිකරණයට අපහාස කරමින් විවිධ පුද්ගලයන් විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදු කර ඇති බවත් එම ප්‍රකාශවලට අදාළ සංස්කරණය නොකළ දර්ශන ලබා දෙන ලෙස විද්‍යුත් නාළිකා 10කට නියෝග නිකුත් කරන ලෙසත්  පැමිණිල්ල සිදු කළ ඉල්ලීමට අවසර ලැබිණි.

එහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් රොහාන් සිල්වා පියතුමා ඇතුළු පැමිණිල්ල ඉදිරිපත් කළ පියතුමන්ලා ඇතුළු පිරිසකට තර්ජන සිදු කරමින් විවිධ ප්‍රකාශ සිදු කරන බැවින් ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස රොහාන් සිල්වා පියතුමා ඇතුළු අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඊට අදාළව පැමිණිල්ලක් ගොනු කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.

මහේස්ත්‍රාත්වරයාගේ පිටු 23ක සම්පූර්ණ නියෝගය

සිය නියෝගය ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ කියා සිටියේය.

“2026.04.22 දින සහ 2026.5.20 යන දෙදින තුළ කළ ඉල්ලීම් සම්බන්ධයෙන් නියෝග ප්‍රකාශයට පත් කරනවා.

තුවාන් සුරේෂ් සලේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ඉවත් කර වෙනත් විමර්ශන අංශයකට යොමු කළ යුතු වන්නේද?,

තෙවැනි සැකකරු රඳවා තබා ගැනීමේ නියෝගයක් තිබියදී ඔහුට නි‍වෙසින් රැගෙන එන පොත්, පුවත්පත්, නීති කෘත්‍යයට අදාළ පනත් සහ නඩු වාර්තා කියවීමට, ඔහුට සටහන් තැබීමට පොතක් සහ පෑනක් සන්තකයේ තබා ගැනීමට ඉඩ ලබා දිය යුතුද,

තෙවැනි සැකකරුට මා ඉදිරිපිට ප්‍රකාශයක් ලබා දීමට අවසර ලබා දිය යුතුද,

යසිල් බාවා ජෙගිල් පාස් සහ සුවඳරාල නිලමේගේ සරත් සමන්ත යන සැකකරුවන් දෙදෙනා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුකරය පවත්වාගෙන යෑමට සාක්ෂි අනාවරණය වී නැතිනම් රඳවා තබා ගැනීමේ නියෝගය ඉවත් කළ යුත්තේ ද,

තෙවැනි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමේ නියෝගය ඉවත් කළ යුතුද,

එසේම සැකකරුට දී ඇති නීතිඥ ප්‍රවේශය ඉවත් කළ යුතුද යන්න මෙහිදී සලකා බලමි.

පළමු ඉල්ලීම වන විමර්ශන අපරාධ පරීක්ෂණ අධ්‍යක්ෂවරයාගෙන් ඉවත් කළ යුතුද යන්න සලකා බලමි. සැකකරු ඉදිරිපත් කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි ආකාරයෙන් විමර්ශන සිදු කරන බවට පෙනී යයි. නීතිපතිවරයා විසින් මෙම නඩු කෘත්‍ය අධීක්ෂණය කරන අතර නීතිපතිවරයා නියෝජනය කිරමින් මෙම නඩුකරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් අධිකරණයේ පෙනී සිටින අතර මෙම විමර්ශන හොඳින් සිදු කරන බවට අධිකරණය නිරීක්ෂණය කරනවා. එසේම ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රඳවා සිටින සැකකරු පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කරන අවස්ථාවේ තෙවැනි සැකකරු විසින් පූර්වගාමී මහේස්ත්‍රාත්වරයාට දන්වා ඇත්තේ විමර්ශන කණ්ඩායම් සැකකරුට හොඳින් සලකන බවය. එය තමාට සහනයක් වන බවට ද සැකකරු දන්වා ඇත. එසේම ආරක්ෂණ ඇමැතිවරයා කරන ලද නියෝග ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණය හමුවේවන නඩුවකට හැර ප්‍රශ්න කිරීමට නොහැකි බැවින් මෙම අධිකරණයේ ප්‍රශ්න කිරීමට නොහැකි බව නෛතික ප්‍රතිපාදන අනුව පෙනීයයි. ආරක්ෂණ අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරියා වන්නේ එහි අධ්‍යක්ෂවරයා වේ. ඒ අනුව ඔහුගෙන් විමර්ශන ඉවත් කිරීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නැත. එම කරුණු සැලකිල්ලට ගැනීමේදී ඒ අනුව මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ඉවත් කිරීමට සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමි.

තෙවැනි සැකකරු වැනි 2026.04.26 දිනැති ඉල්ලා ඇති ඔහුට නි‍ෙවසින් රැගෙන එන පොත්, පුවත්පත්, නීති කෘත්‍යයට අදාළ පනත් සහ නඩු වාර්තා කියවීමට, ඔහුට සටහන් තැබීමට පොතක් සහ පෑනක් සන්තකයේ තබා ගැනීමට කරන ලද ඉල්ලීම සලකා බලමි. පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කරන අවස්ථාවේදීද මෙම ඉල්ලීම සිදු කර ඇතත් ඊට අවසර ලබාදී නැත. වෙනත් රැඳවියකු විසින් කියවීමට දුන් පොතක පිටුවක් ඉරා යමක් ලිවීම හේතුවෙන් එකී ඉල්ලීම්වලට ඉඩ ලබා දීම නතර කළ බව විමර්ශකයන් සඳහන් කර ඇත. තමන්ට කියවීම සඳහා පොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන බවට තෙවැනි සැකකරුද ප්‍රකාශ කර ඇත.

තෙවැනි සැකකරු ජීවිතයට හානි කරගැනීමට ආහාර වර්ජනයක් සිදු කරමින් සිටියි. ඒ සම්බන්ධයෙන් මෝසමක් මෙඟින් කරුණු වාර්තාකර ඇත. තමාගේ ජීවිතයට හානි කළ හැකි පෑනක් පැන්සලක් හෝ ලබාදීම අනුමත කළ නොහැකි බව පෙනී යයි.

එසේම සැකකරු රඳවා ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. මනුෂ්‍ය ඝාතන 278ක් සහ මිනීමැරීමට තැත් කිරීම් 500 අධික සංඛ්‍යාවක් සහ කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බව කරුණු සැලකිල්ලට ගැනීමේ දී පෙනී යයි. ඒ අනුව රැඳවුම් සැකකරුවන්ට පරිශීලනය කිරීමට පොත් ලබා ගැනීමට හැකි බව පැමිණිල්ල දක්වා ඇත. එම පොත්පත් තුළ විමර්ශනයට බාධා කළ හැකි තොරතුරු ඇතුළත් කළ හැකි බවත් ඔවුන් උපක්‍රමශීලීව ඒවා උපයෝගී කරගෙන පිටස්තර පාර්ශ්වයන් සමඟ තොරතුරු හුවමාරු කරගැනීමට හැකි බව පැමිණිල්ල දක්වා ඇත.

මානව හිමිකම් නිලධාරීන් ද සැකකරු නිරීක්ෂණය කර ඇත. රැඳවියන්ට ලබා දිය හැකි සියලු පහසුකම් තෙවැනි සැකකරුට ලබාදී ඇති බවත් අමතර පහසුකම්ද ලබාදී ඇති බැවින් අමතර පොත්පත් ලබා දිය නොහැකියි. එසේම අනෙකුත් සැකකරුවන්ට වෙනස් ලෙස විශේෂිත ලෙස සැලකීමට නොහැකි බව පෙනී යයි. ඒ අනුව එසේ කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමි.

තෙවැනි සැකකරු මහේස්ත්‍රාත්වරයා වෙත ප්‍රකාශයක් ලබාදීමට කළ ඉල්ලීම සලකා බලමි. අප්‍රේල් මාසයේ 22 දින තෙවැනි සැකකරු විවෘත අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙකී ඉල්ලීම ඔහු වෙනුවෙන් නීතිඥවරයා සිදු කර ඇත. එහිදී ලබා දීමට බලාපොරොත්තු වන්නේ පාපෝච්ඡාරණයක් ද යන්න පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විමසා තිබෙනවා. එහිදී මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් ලබා දීමේදී අනුගමනය කරන පටිපාටිය තවදුරටත් සලකා බලා කරන ලෙස දැනුම් දී ඇත. ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ තෙවැනි සැකකරු අපරාධ උච්ඡාරණයක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

අපරාධ උච්ඡාරණයක් නොවන ප්‍රකාශයක් ලබාදීම විමර්ශනවලට බාධාවක් වන බව පෙනී යයි. එසේ කරනු ලබන ප්‍රකාශයක් වාර්තා කිරීම විමර්ශනවලට බාධා සිදුවිය හැකි බව පෙනී යයි. ඒ අනුව රඳවා ප්‍රශ්න කරන තෙවැනි සැකකරු 127 වගන්තිය ප්‍රකාරව අපරාධ උච්ඡාරණයක් නොවන ප්‍රකාශයක් ලබාදීමට කරන ඉල්ලීම විමර්ශනවලට බාධාවක් බව පෙනී යයි. ඒ අනුව එම ඉල්ලීමට අවසර ලබා දීමට හැකියාවක් නැති බව පෙනී යයි. ඒ අනුව ප්‍රකාශයක් ලබාදීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමි.

එසේම එක සහ දෙවැනි සැකකරු වෙනුවෙන් මැයි 20 දින ඉල්ලීමක් කරමින් ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ වන චෝදනා ගෙන යෑමට හැකියාවක් නැති බැවින් ඔවුන් මුදා හරින ලෙස නීතිඥවරුන් ඉල්ලීමක් කර ඇත. 1 සහ 2 සැකකරුවන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියා කරන්නේ ද යන්න පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලෙන් විමසා ඇත.

එහිදී 2016.11.03 දින ඝාතනය කළ පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අනුව ඔවුන් දෙදෙනා ඝාතනය කර ඇත්තේ නිශ්චිත පුද්ගලයන් දෙදෙනෙක් වන අතර ඔවුන් දෙදෙනා ඝාතනය කිරීමට භාවිත කළ ගිනි අවි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ ගැනෙන බැවින්ද ඔවුන් දෙදෙනා ඝාතනය කර ගිනි අවි පැහැරගෙන යෑම, මාර්ග බාධක‍ෙය් රාජකාරි කළ පොලිස් නිලධාරීන් දෙදෙනා තියුණු ආයුධවලින් පහරදී ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තැබීම සුළුපටු තත්ත්වයක් නොවේ. එසේම පාස්කුප්‍රහාරය සිදු කළ තවුහිද් ජමාද් සංවිධානයට ඍජුව හා වක්‍ර කාරව සම්බන්ධ වී අවකාශ සලසා දෙමින් කුමන්ත්‍රණ කිරීම එකිනෙකට සම්බන්ධ බව විමර්ශනවලදී අනාවරණය වන බැවින් ද මොවුන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ වරද සිදු කළ බවට හෝ සම්බන්ධ බවට ප්‍රවේනි තත්ත්වයක් දක්වා ඇති බවට හෝ සිදු කිරීමෙහිලා සම්බන්ධ බවට යුක්තිසහගතව විමර්ශනයේ කරුණු අනාවරණය වී ඇති බවට කරුණු අනාවරණය කර ඇත.

එසේම දෙමටගොඩ, මහවිල උද්‍යානයේදී මියගිය බෝම්බකාරිය වන ෆාතිමා ජිෆ්රි භාවිත කළ ජංගම දුරකතනය සමඟ පළමු සැකකරු සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ. ඒ අනුව මරාගෙන මැරෙන සැකකරුවන් සමඟ සම්බන්ධ වී ඇති බවට විමර්ශන සිදු කරන බවට විවිධ පැතිකඩ ඕස්සේ විමර්ශන කරන බව පැමිණිල්ල දක්වා ඇත. තොරතුරු ලබා දුන් තොරතුරුකරු හෝ ඔහුගේ දුරකතන අංකයක් විමර්ශනකරුට හඳුන්වා නොදීමෙන් මෙම විමර්ශන නොමඟ යැවීමට කටයුතු කර ඇති බව විමර්ශන අනාවරණ කර තිබේ. එසේම එම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයේ වගකීම අජන්තන් යන අයෙක් වෙත බැර කිරීමේ පූර්ව සැලසුමකින් ක්‍රියා කර ඇති බව පැමිණිල්ල දක්වා ඇත.

ස්වයං ඝාතක බෝම්බ ප්‍රහාරය සහ පාස්කු ඉරු දින ප්‍රහාරය එකිනෙකට සම්බන්ධ බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත. ඒ අනුව ඔවුන් නිදහස් කිරීමට මේ අනුව හැකියාවක් නැති බව පෙනී යයි. එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් නිදහස් කිරීමට මෙම අධිකරණයට බලයක් නැති බව ද පෙනී යයි. එම බලය ඇත්තේ මහාධිකරණයට බව ද පැහැදිලිවම පෙනී යයි. ඉහත සඳහන් කරුණු අනුව ඔවුන් නිදහස් කරන ලෙස සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමි.

තෙවැනි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කරන ලද නියෝගය සලකා බලමි. පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් තෙවැනි සැකකරු ලෙස නම්කර ඇත. ඔහු සැකකරුවෙක් ලෙස නම් කිරීමෙන් අනතුරුව අනෙකුත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇතත් තෙවැනි සැකකරු අධිකරණයට ඉදිරිපත් කර නැති බවත් සලකා බලා ඇත. පැමිණිල්ල සහ විත්තියට අදාළ කරුණු සලකා බලා තෙවැනි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත. එම නියෝගය ඉවත් කිරීමට බලයක් මෙම අධිකරණයට නැත. එකී නියෝගය ඉවත් කරන ලෙස ඉහළ අධිකරණයෙන් ඉල්ලීමක් ද කර නැත. තෙවැනි සැකකරු පමණක් අධිකරණයට භෞතිකව රැගෙන ඒම, එක් සැකකරුවකුට පමණක් විශේෂ අවශ්‍යතාවක් ලබා නොදිය යුතු බව පෙනී යයි.

තෙවැනි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරීක්ෂා කිරීමේදී ඔහු මානසිකව වැටී ඇති බව ඔහු මානසික වෛද්‍යවරයාට කළ කරුණු දැක්වීම අනුව පෙනී යයි. එසේම තෙවැනි සැකකරු අධිකරණයට රැගෙන ඒම ඔහුගේ ආරක්ෂාවට ද තර්ජනයක් වන බව පෙනී යයි. ඔහුගේ ආරක්ෂාවට බාධාවක් මෙන්ම තර්ජනයක් විය හැකි බව ද පෙනී යයි.

අනෙකුත් සැකකරුවන්ට මෙන් තෙවැනි සැකකරුට කටයුතු කළ යුතු වන බැවින් එසේ නොකළහොත් නීතියේ ප්‍රතිපාදන අනුව අනෙකුත් සැකකරුවන්ට සිදු කරන අසාධාරණයක් වන බව ද පෙනී යයි. ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම වළක්වාලන ලෙස නියෝග නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සූම් තාක්ෂණය ඔස්සේ නඩුව කැඳවන දින ඉදිරිපත් කරන ලෙස නියෝග කරමි. එසේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින තෙවැනි සැකකරු අධිකරණයට ගෙන ඒම නොකර සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමි.

එසේම නීතිඥ ප්‍ර‍ෙව්ශය සම්බන්ධයෙන් මේ වන විටත් පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර ඇත. ඒ අනුව රිමාන්ඩ් හෝ රැඳවුම් භාරයේ සිටින රැඳවියකුට කොන්දේසිවලට යටත්ව හෝ නෛතික ප්‍රතිපාදන අනුව ඒ තැනැත්තා වෙත ප්‍ර‍ෙව්ශවීමට අවස්ථාව දිය යුතුය. මේ වන විටත් ලබා දී ඇති නියෝගය ප්‍රකාරව සහ නියම කර ඇති කොන්දේසිවලට යටත්ව රැඳවුම් භාර නිලධාරියා දෙන කොන්දේසිවලට යටත්ව නීතිඥ ප්‍ර‍වේශය ලබාදීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමි.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අතෘප්තියට පත් පාර්ශ්වයක් ලෙස මෙම නඩුකරයට ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක් වන ශාන්ත ජයතිලක කළ කරුණු දැක්වීමට අදාළව ඉදිරිපත් කළ ඉල්ලීමට අදාළ නියෝගය ඉදිරි දින තෙක් කල් තැබිණි. ඊට පැමිණිල්ල සහ අගතියට පත් පාර්ශ්වය සිය විරෝධය පළ කළේය.

“අපි ඔහුට බුරියානි පවා කන්න දුන්නා” – දිලීප පීරිස්

පැමිණිල්ල සම්බන්ධයෙන් කරුණු දක්වමින් දිලීප පීරිස් මෙසේ පැවසීය.

“ස්වාමීනි, තෙවැනි සැකකරු සුරේෂ් සලේ ආහාර වර්ජනය ඉවත් කළ බවට අද මාධ්‍ය මඟින් දැනුවත් වුණා. පසුගිය නඩු දිනයෙන් පසු ඔහු උපවාසය පටන් ගත්තා. ඉතා වටිනා වූ ආහාර වර්ග විටමින් වර්ග ලබාදී තිබෙනවා. අපිට අවශ්‍ය ඔහු නඩුව අවසන් වන තෙක් ජීවත් කරවීමයි. අපි ඔහුට බුරියානි පවා කන්න දුන්නා. ඔහුට ද ප්‍රඥාව පහළ වෙලාද උපවාසය අත්හැර තිබෙන්නේ. විමර්ශන සඳහා ඔහු නැවත අපි ගෙන්වා ගත යුතුයි. විත්තිකරුවන් තුන්දෙනකුට නියෝග ගත්ත ගමන් ඔහු උපවාසය පටන් ගත්තේ. මෙහි කුමන්ත්‍රණය පැහැදිලි වෙනවා. මෙම විමර්ශනයේ විශේෂ ප්‍රකාශයක් සටහන් කර තිබෙනවා ඊට අදාළ වාර්තාවක් ඉදිරි දින අධිකරණ ඉදිරිපත් කරනවා.

ස්වාමීනි, තෙවැනි සැකකරු අත්අඩංගුවට ගැනීමේදී ඔහුගේ කාර් රථයේ ලැප්ටොප් යන්ත්‍රයක් සහ ජංගම දුරකතනයක් තිබී භාරයට ගත්තා. ඔහු ජංගම දුරකතනය ඔහුගේ දුවගේ බවට දැනුම් දුන්නා. ජංගම දුරකතනයයි පරිගණකයයි එකට වැඩ කරන්නේ. මේ මුරපදය ලබා ගැනීමට අවශ්‍යයි. දෙවැනි කාරණය ස්වාමීනි අද දින බී වාර්තාවේ මාධ්‍ය ආයතන 10කට අධිකරණ නියෝග ඉල්ලා තිබෙනවා. මේ නඩු කෘත්‍ය සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව සහ නඩු කෘත්‍යට බාධා වන අයුරින් විවිධ ප්‍රකාශ කර තිබෙනවා අධිකරණයට අපහාස වන අයුරින්. ඒ අනුව අදාළ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.”

මහේස්ත්‍රාත්වරයා: “ඊට අදාළ උපදෙස් ලබා දුන්නා. ඒ දර්ශන ලබාගෙන අදාළ නියෝග ඉල්ලන්න.”

දිලීප පීරිස්: “සැකකරු ස්වයං උපවාසයක් පටන් ගත්තා. අද එය නවත්වලා. ඔහු දිගටම ජාතික රෝහලේ සිටින්නේ. හෘද ඒකකයටත් මාරුවක් ගත්තා. නාසයෙන් ආහාර දුන්නේ. පැමිණිලි පාර්ශ්වයෙන් ඔහුට තර්ජන නැහැ. ඔහුට තර්ජන තියෙන්නේ ඔහුගේ පාර්ශ්වයෙන්. මාසයකට දවස් කීපයයි තියෙන්නේ. කිසිම අපහසුවක් නැතිව ප්‍රශ්න කිරීම්වලට ලක් වූ පුද්ගලයන් තුන්දෙනකුට නියෝග ගත්ත ගමන් උපවාසයක් පටන් ගත්තා. මේ විමර්ශනයට අදාළ සුවිශේෂී ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. ඉදිරියේදී එය ඉදිරිපත් කරනවා.”

එහිදී කරුණු දක්වමින් රොහාන් සිල්වා පියතුමාට මෙම විමර්ශනවලට අදාළව බලපෑම් කිරීම සම්බන්ධයෙන් ද නීතිඥවරුන් කරුණු දැක්වීය.

“තහඩු කෑලි එල්ලගෙන ඇවිල්ලා ඉල්ලීම් කරන්න දෙන්න බැහැ”

අතෘප්තියට පත් පාර්ශ්වයක් වෙනුවෙන් කරුණු දැක්වීමට විශ්‍රාමික ශාන්ත ජයතිලක කළ ඉල්ලීම හමුවේ කරුණු දක්වමින් දිලීප පීරිස් මෙසේ කියා සිටියේය.

“ස්වාමීනි, මෙම ඉල්ලීමට මම විරුද්ධයි. ඉල්ලීම සිදු කරන්න නෛතික ප්‍රතිපාදන නෑ. නැතුව හිතෙන හිතෙන පුද්ගලයන්ට අධිකරණය හමුවේ පෙනී සිටිමින් ඉල්ලීම් කරන්න බෑ. විවිධ පුද්ගලයන් සතුටු කරන්න අතෘප්තිමත් පාර්ශ්වයන් කියල පෙනී සිටින්නේ. බලපන්ති ලුතිනන්වරයෙක් කියලා තහඩු කෑලි එල්ලගෙන ඇවිල්ලා ඉල්ලීම් කරන්න දෙන්න බැහැ.”

එහිදී ශාන්ත ජයතිලක කරුණු දැක්වීමට කළ උත්සාහය හමුවේ මහේස්ත්‍රාත්වරයා ඔහුට දැඩිලෙස අවවාද කළේය.

“තමුන් නීතිඥවරුන් දක්වන කරුණුවලට කරුණු දක්වමින් මෙසේ හැසිරෙන්නේ නම්, නීතියට බාධා කරන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා” යැයි එහිදී මහේස්ත්‍රාත්වරයා දැඩිව අවවාද කරමින් දැනුම් දුන්නේය.

එහිදී අදහස් දක්වමින් දිලීප පීරිස් කියා සිටියේ, “ස්වාමීනි මෙම සිද්ධියේ නියම වින්දිතයන් වන්නේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සහ තුවාලත් පුද්ගලයන්. මේ අය කරන්නේ මේ විමර්ශන වෙනත් මානයකට ගෙන යන්න. මේ පුද්ගලයා අට දෙනකුට එරෙහිව නඩු ගොනුකරලා තියෙනවා.” යනුවෙනි. මේ කරුණු දක්වමින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න අතෘප්තියට පත් පාර්ශ්වයක් වෙනුවෙන් සිදු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රනාන්දු අධිකරණය හමුවේ දන්වා සිටියේ තහඩු එල්ලාගෙන සිටින පුද්ගලයෙක් ලෙසට විශ්‍රාමික හමුදා නිලධාරියකුට සිදුකළ ප්‍රකාශය සමස්ත හමුදාවටම සිදුකළ අපහාසයක් වන බවය. එය නීතිපතිවරයා නියෝජනය කරමින් සිදුකිරීම බරපතළ තත්ත්වයක් බවද, ජනාධිපති නීතිඥවරයා එහිදී පෙන්වා දුන්නේය. හමුදා පදක්කම් දිනාගත් අය ඕනතරම් ඉන්නවා යැයිද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

නඩුව සැප්තැම්බර් 02 දක්වා කල් තැබේ

එසේම පළමු සහ දෙවැනි සැකකරුවන් ලබන 15දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන සැප්තැම්බර් 02 තෙක් කල්තබා ඉදිරි දින සැකකරුවන් තිදෙනා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමට නියෝග කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඇතුළු රජයේ අධිනීතිඥවරුන් ද, අපරාධ පරීක්ෂණ ‍ෙදපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න ඇතුළු නීතිඥවරුන් සහ තෙවැනි සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු, අසිත් සිරිවර්ධන, දයාසිරි ජයසේකර, ප්‍රේමනාත් දොලවත්ත ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

Next Post

වසරේ මුල් මාස 05 තුළ  පුද්ගලික රථවාහන ආනයන වියදම සියයට 254කින් ඉහළට!

Related Posts

පුවත්

ඩෙංගු නිසා සෞන්දර්ය විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසෙයි!

ජූලි 2, 2026
VIJEYI
පුවත්

තමිල්නාඩුවේ විජේගේ රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළි වෙයි: කෝටි 35ක දේශපාලන ඩීල් එකක් මාට්ටු!

ජූලි 2, 2026
SRI-LANKA-ATTACKS-CHURCH
පුවත්

කාදිනල් හිමිපාණන්ට එල්ල වන චෝදනා රදගුරු සම්මේලනය දැඩි ලෙස හෙළා දකියි!

ජූලි 2, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩෙංගු නිසා සෞන්දර්ය විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසෙයි!

ජූලි 2, 2026
VIJEYI

තමිල්නාඩුවේ විජේගේ රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළි වෙයි: කෝටි 35ක දේශපාලන ඩීල් එකක් මාට්ටු!

ජූලි 2, 2026
SRI-LANKA-ATTACKS-CHURCH

කාදිනල් හිමිපාණන්ට එල්ල වන චෝදනා රදගුරු සම්මේලනය දැඩි ලෙස හෙළා දකියි!

ජූලි 2, 2026
ADVERTISEMENT
  • Wijedasa-R

    විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතලාගේ පජාතකම් හෙළි කළ  ‘Truth with Chamuditha’ වීඩයෝවක් සඳහා  විජයදාස ලබාගත්  තහනම් නියෝගය අභියෝගයට ලක් කරමින් චමුදිත අධිකරණයට…  

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

    172 shares
    Share 69 Tweet 43
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු නිසා සෞන්දර්ය විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසෙයි!
  • තමිල්නාඩුවේ විජේගේ රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළි වෙයි: කෝටි 35ක දේශපාලන ඩීල් එකක් මාට්ටු!
  • කාදිනල් හිමිපාණන්ට එල්ල වන චෝදනා රදගුරු සම්මේලනය දැඩි ලෙස හෙළා දකියි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.