උපේක්ෂා උඩුවැරැල්ල –
විද්‍යාත්මක ගවේෂණයේ සහ සම්පත් කළමනාකරණයේ සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWRWTB) විසින් මෙරටින් මෙතෙක් හමුවූ විශාලතම භූගත ජල මූලාශ්‍රය සොයාගෙන ඇත.
මෙම ඓතිහාසික ජල මූලාශ්‍රය පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ දකුණු කෙළවරේ පිහිටි සුන්දර පිටබැද්දර ප්‍රදේශයේ, දකුණු පළාත් සභාවට අයත් පිටබැද්දර පොලිස් ස්ථානයට ඉතා ආසන්න භූමියකය.
ල්වලා ගංගා ද්‍රෝණියට සමීපව පිහිටි මෙම කලාපය, තෙත් කලාපීය දේශගුණික ලක්ෂණ සහිත කඳුකර සහ තැනිතලා භූමි මිශ්‍ර වූ භූ විෂමතාවයකින් යුක්ත වේ. භූ විද්‍යාත්මකව බලන කල, මෙම ප්‍රදේශය ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාෂාණ ස්ථරයක් වන ‘උඩරට සංකීර්ණයට’ (Highland Complex) අයත් වන අතර, මෙහි ඇති තද පාෂාණමය ස්ථරයන්හි ඇති වූ ස්වභාවික පැලීම් සහ භූගත ප්රභේදයන් (Fractures) තුළ මෙම මහා ජල කඳ වසර දහස් ගණනක් තිස්සේ ගබඩා වී තිබී ඇත.
සිංහරාජ වනාන්තර පද්ධතියේ දකුණු මායිමට නුදුරින් පිහිටි මෙම ප්‍රදේශය, වර්ෂා කාලයට සක්‍රීය වන ජල පෝෂක කලාපවලින් සමන්විත වීම නිසා මෙම භූගත ජලධරය නිරන්තරයෙන් පෝෂණය වීමේ ස්වභාවික වාසිය ද හිමිකරගෙන තිබේ.
ජල මූලාශ්‍රයේ ධාරිතාව
විනාඩියකට ලීටර් 10,000ක (ඝන මීටර් 10ක) අඛණ්ඩ ජල ධාරිතාවක් සහිත මෙම සොයා ගැනීම, ශ්‍රී ලංකාවේ ජල හිඟයට විසඳුම් සෙවීමේ උත්සාහයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වන අතර සැඟවුණු ස්වභාවික සම්පත් මතු කර ගැනීමට දියුණු භූ විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවල ඇති හැකියාව මින් මනාව පැහැදිලි වේ.
දකුණු පළාතේ මෙහෙයුම් භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ මෙම සොයා ගැනීම පෙර නොවූ විරූ එකක් ලෙස විස්තර කළේය.
“මෙතරම් ඉහළ ජල ධාරිතාවක් සහිත ජල මූලාශ්‍රයක් අපට හමු වූ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර වාර්තාගත ඉහළම ජල ධාරිතාව වූයේ මඩු ප්‍රදේශයෙන් වාර්තා වූ විනාඩියකට ලීටර් 7,000ක ප්‍රමාණයයි. අපේ කණ්ඩායම නවීන මෙවලම් භාවිතයෙන් පාෂාණ ස්ථර අධ්‍යයනය කර, භූගත ජලය රැස්වන ස්ථර ඉරිතැලීම් (Strata fractures) නිවැරදිව හඳුනා ගත්තා. එමගින් සාමාන්‍ය කැණීමක් දේශීය ප්‍රජාවගේ ජීවිත වෙනස් කරන සුවිශේෂී අවස්ථාවක් බවට පත් කිරීමට අපට හැකි වුණා,” ඔහු කීවේ එසේය.
භූ විද්‍යාත්මක දත්ත සූක්ෂ්ම ලෙස විශ්ලේෂණය කිරීමෙන් පසුව, පිටබැද්දර හරිත කඳු පන්ති අතර මෙම කැණීම් ස්ථානය තෝරාගෙන ඇත. භූගත සැකසුම් සිතියම්ගත කිරීම සහ ජලය ගබඩා වන ස්වභාවික වාහිනී ලෙස ක්‍රියා කරන ‘බිඳීම් කලාප’ (Fracture zones) හඳුනා ගැනීම මගින්, අනවශ්‍ය පරිසර හානියකින් තොරව ව්‍යාපෘතියේ සාර්ථකත්වය තහවුරු කිරීමට ඉංජිනේරුවන්ට හැකි විය.
මෙම ප්‍රවේශය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිරවද්‍යතාව පිළිබඳ කැපවීම පෙන්නුම් කරනවා පමණක් නොව, දිවයින පුරා තිරසාර සම්පත් නිස්සාරණය සඳහා නව මිනුම්දණ්ඩක් ද පිහිටුවීය.
දේශගුණික විපර්යාස හමුවේ කාලීනව මතුවන ජල හිඟයෙන් පීඩා විඳින පිටබැද්දර, මොරවක සහ අවට තදාසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ට මෙම සොයා ගැනීම බලාපොරොත්තුවේ ආලෝකයකි. නළ පද්ධති සහ ප්‍රජා ප්‍රවේශ ස්ථාන හරහා මෙම ජලය බෙදා හැරීමට මණ්ඩලය සැලසුම් කර ඇති අතර, එමගින් දහස් සංඛ්‍යාත නිවාස, ගොවිපළ සහ කුඩා ව්‍යාපාරවලට ප්රතිලාභ සැලසෙනු ඇත.
“නුදුරු අනාගතයේ දී මෙම සම්පත අපේ ජනතාව මුහුණ දෙන පීඩාවන් සමනය කරනු ඇත. මෙය හුදෙක් ජල ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයක් නොව, එදිනෙදා ජීවිතය වෙනස් කළ හැකි පිරිසිදු, විශ්වාසදායක ජලය සඳහා සාධාරණ ප්‍රවේශයක් තහවුරු කිරීමකි,” යැයි මණ්ඩලයේ ප්‍රකාශකයෙකු පැවසීය.
ක්ෂණික සහනයට එහා යමින්, මෙම සොයා ගැනීම භූගත ජල කළමනාකරණය සඳහා ආයෝජනය කිරීමේ ධනාත්මක ප්‍රතිඵල සඳහා කදිම උදාහරණයකි. කෘෂිකර්මාන්තය, නාගරීකරණය සහ සංචාරක කර්මාන්තය හේතුවෙන් ඉහළ යන ඉල්ලුම හමුවේ, මතුපිට ජලයට අමතරව මෙවැනි මූලාශ්‍ර දෙසට ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් යොමු වී ඇත.
නිසි කළමනාකරණය ගිලිහුනොත්..
කෙසේ වෙතත් භූගත ජල මූලාශ්‍ර විද්‍යාත්මක සහ තිරසාර කළමනාකරණයකින් තොරව අසීමිත ලෙස පරිභෝජනය කළහොත්, එය ආපසු හැරවිය නොහැකි දරුණු පාරිසරික සහ ආර්ථික අර්බුද රැසකට මග පාදන බව ලෝකයේ අත්දැකීමය. අධික ජල පරිභෝජනයේ ඇති ප්‍රධානතම අවදානම වන්නේ භූමිය ගිලා බැසීම (Land Subsidence) සහ ජලධරයන් ස්ථිරවම විනාශ වීමය.
ලෝක ප්‍රකට නිදසුනක් ලෙස ඉන්දුනීසියාවේ ජකර්තා (Jakarta) නගරය දැක්විය හැකිය; එහි භූගත ජලය අධික ලෙස නිස්සාරණය කිරීම හේතුවෙන් වසරකට සෙන්ටිමීටර 25ක් තරම් වේගයෙන් නගරය මුහුදු මට්ටමට යටින් ගිලා බසිමින් පවතින අතර, මේ නිසා සමස්ත අගනුවරම වෙනත් ස්ථානයකට ගෙන යාමට එරට රජයට සිදු වී ඇත. එමෙන්ම, ඉන්දියාවේ පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවල හරිත විප්ලවය සමඟ සිදු කළ අසීමිත භූගත ජල භාවිතය නිසා අද වන විට එහි ජල මට්ටම මීටර් සිය ගණනක් පහත බැස ඇති අතර, එමගින් කෘෂිකර්මාන්තය බිඳ වැටීමේ තර්ජනයකට මුහුණ දී සිටී. මුහුදුබඩ කලාපවලදී, මෙවැනි අධික ලෙස ජලය පොම්ප කිරීම නිසා කරදිය කාන්දු වීම (Saltwater Intrusion) සිදු විය හැකි අතර, එවිට මිරිදිය මූලාශ්‍ර සදහටම ලුණු සහිත වී භාවිතයට ගත නොහැකි වේ.
මේ නිසා පිටබැද්දර වැනි වටිනා ජල මූලාශ්රවලදී ද, ජලය ලබා ගන්නා වේගය සහ ස්වභාවිකව ජලය නැවත පිරෙන වේගය (Recharge rate) අතර නිසි සමතුලිතතාවයක් පවත්වා නොගතහොත්, මෙම “සැඟවුණු නිධානය” ඉතා කෙටි කලකින් සිඳී ගිය හිස් අවකාශයක් බවට පත්වීමේ අවදානම පවතී.
තිරසාර කළමනාකරණය සහ අනාගත දැක්ම
මෙම සුවිශේෂී ස්වභාවික සම්පත භාවිතයේදී විද්‍යාත්මක මෙන්ම වගකීම් සහගත කළමනාකරණ සැලසුමක අවශ්‍යතාවය අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම ජලය ලබාගන්නා වේගය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම, වැසි ජලය රැස්කිරීම මගින් භූගත ජලධරයන් (Aquifers) නැවත පෝෂණය කිරීම සහ නවීන පරිසර හිතකාමී තාක්ෂණයන් ඒකාබද්ධ කිරීම මගින් ජලය අධික ලෙස නිස්සාරණය කිරීම වැළැක්විය හැකිය. විචක්ෂණශීලී කළමනාකරණය ඔස්සේ පාරිසරික සමතුලිතතාව රැකගනිමින්, අවට තෙත්බිම් සහ වනාන්තරවල ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමටත්, ගොඩබිම් ගිලා බැසීම් හෝ ජලය අපවිත්‍ර වීමේ අවදානම අවම කිරීමටත් හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.
පරිසර ක්‍රියාකාරීන්ගේ ද පැසසුමට ලක්ව ඇති මෙම ව්‍යාපෘතිය, ස්වභාවික වාසස්ථානවලට සිදුවන බාධා අවම කරමින් ජල පෝෂක වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරයි. “ස්වභාවධර්මයේ දායාදයන් වගකීමෙන් යුතුව භාවිත කරන විට, නියඟය සහ දේශගුණික විපර්යාස හමුවේ නොසැලී සිටීමේ ශක්තිය අපට උදාවන බව මෙම සොයා ගැනීම අපට මතක් කර දෙනවා,” යැයි ප්‍රදේශයේ පරිසරවේදියෙක් පැවසීය. ආක්‍රමණශීලී ලෙස ජලය පොම්ප කිරීමෙන් වැළකී, ප්‍රජා සහභාගීත්වයට මුල්තැන දෙමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ, සමස්ත රටටම ආදර්ශයක් විය හැකි තිරසාර සංවර්ධන සැලසුමකි.
ගෝලීය උණුසුම හමුවේ ශ්‍රී ලංකාව දැවැන්ත පාරිසරික අභියෝගවලට මුහුණ දෙන මොහොතක, පිටබැද්දරින් ලැබුණු මෙම ජයග්‍රහණය මෙරට මිනිස් බුද්ධිය සහ අපේක්ෂාවන් පිළිබඳ සැබෑ සාක්ෂියකි. නිසි සැලසුම්කරණය සහ නිවැරදි කළමනාකරණය තුළින් මෙම මූලාශ්‍රය ජනතාවගේ පිපාසය නිවනවා පමණක් නොව, දකුණු පළාතේ අනාගත සමෘද්ධියට පෝෂණයක් සපයන ප්රගතියේ නව මාවතක් වනු නොඅනුමානය.







