අසේල කුරුළුවංශ –
තමාට වාසිදායක යැයි හැඟෙන වෙලාවට පමණක් මැතිවරණවලට ඉදිරිපත්වී, අවාසි සහගත අවස්ථාවලදී පැත්තකට වී සිටින දේශපාලන නායකයින් සමඟ තමන් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ප්‍රතිපත්තිගරුක නොමැති එවැනි ගමනක් තමන් කිසිසේත් අනුමත නොකරන බව පැවසූ විපක්ෂ නායකවරයා, විපක්ෂයේ අතිමහත් බහුතර බලය පවතින්නේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සතුව බැවින් ප්‍රතිපත්තිගරුක එකමුතුවක් සඳහා තමන් ඕනෑම මොහොතක සූදානම් බවද සඳහන් කළේය.
මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම අද (21) බැහැ දැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස:
“රටේ ප්‍රධාන විපක්ෂය සමගි ජන සන්ධානයයි. විපක්ෂයේ අනෙක් සෑම කණ්ඩායමකම තරම හා බලය පසුගිය මැතිවරණවලදී ඔවුන් ලබාගත් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවෙන් පැහැදිලි වනවා. එක්සත් ජාතික පක්ෂය සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් එකතුවීමට අපි තීරණය කර තිබෙනවා. එහිදී දෙපාර්ශවයේම අනන්‍යතාවය සුරක්ෂිත වන ලෙස තමයි මේ ක්‍රියාවලිය ඉදිරියට යා යුත්තේ. ඡන්දයක් ජයග්‍රහණය කරන්න බහුතර බලය අවශ්‍යයයි. 2019 දී වගේම 2024 දී අපිට ඒ බහුතර විශ්වාසය දිනා ගැනීමට හැකි වුණේ නැහැ.
මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ බොරුවෙන් තමන්ගේ දේශපාලන ආයුෂ දීර්ඝ කරගන්නයි. පළාත් සභා ඡන්දය පැවැත්වුවහොත් තමන්ගේ බොරුවට වැඩි ආයුෂ නැති බව ආණ්ඩුවට අවබෝධ වේවි. ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමත් සමග පකිස්ථානය පවා තෙල් මිල අඩු කරන්න කටයුතු කළා. ජනතාව තවදුරටත් පීඩනයට පත් නොකර තෙල් හා විදුලි බිල අඩුකිරීමට මේ ආණ්ඩුවට යුතුකමක් වගේම වගකීමක් තියෙනවා. පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ජයග්‍රහණය කරන්න බැරි බව දන්නා නිසා මේ ආණ්ඩුව අද ජන මතයට මුහුණ දෙන්න බයයි. පුලුවන්නම් පළාත් සභා මැතිවරණය පවත්වන්න කියා මම ආණ්ඩුවට අභියෝග කරනවා.
එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව ප්‍රතිපත්තිගරුකව වැඩ කරන්න කැමති සියලු දෙනාට අපත් සමග එකතුවී වැඩ කළ හැකියි. අපි යන්නේ මැද මාවතක නිසා වමේ මෙන්ම දකුණේ දේශපාලන කණ්ඩායම්වලටද අප සමග එකතු විය හැකියි. අන්තවාදී ස්ථාවරයන්ගෙන් ඉවත්ව ප්‍රතිපත්තිගරුක ගමනක් යෑම සඳහා අප සමග එකතු විය හැක්කේ රට වෙනුවෙන් මිස, තනතුරු තානාන්තර බෙදා ගැනීම සඳහා නොවෙයි.”







