උපේක්ෂා උඩුවරැල්ල –
යුක්රේන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහාය ඇතිව, එක්සත් ජනපදය විසින් යුක්රේනය තුළ ජීව විද්‍යාත්මක අවි නිපදවීම සඳහා අරමුදල් සැපයූ බවට සාක්ෂි සොයාගෙන ඇති බව රුසියාවේ විමර්ශන කමිටුව ප්‍රකාශ කරයි.
2026 මැයි 27 වන දින පැවැති ජාත්‍යන්තර ආරක්ෂක සංසදයකදී අදහස් දක්වමින් රුසියානු විමර්ශන කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක ස්වෙට්ලානා පෙට්‍රෙන්කෝ (Svetlana Petrenko) කියා සිටියේ, 2022 වසරේදී ආරම්භ කරන ලද අපරාධ විමර්ශනයකට අදාළව කරුණු සොයා බැලීමේදී විමර්ශකයන්ට මෙම තොරතුරු අනාවරණය වී ඇති බවය.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව (Pentagon) විසින් ප්ලේග්, ඇන්ත්‍රැක්ස්, බෲසෙලෝසිස් සහ ටියුලරේමියාව වැනි භයානක රෝග කාරක (Pathogens) ආශ්‍රිත පර්යේෂණ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සපයා ඇති බවය. මෙම රෝග කාරක ජීව විද්‍යාත්මක යුධ නියෝජිතයන් (Biological warfare agents) ලෙස භාවිත කළ හැකි ඒවා ලෙස හඳුනාගෙන ඇත.
2022 වසරේදී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ කළ දා සිට මෙවැනි චෝදනා රැසක් වරින් වර එල්ල කර තිබේ. රුසියානු බලධාරීන් පවසන්නේ අමෙරිකාව විසින් යුක්රේනය තුළ ජීව විද්‍යාත්මක පර්යේෂණාගාර දස ගණනක් ක්‍රියාත්මක කළ හෝ ඒවාට අරමුදල් සැපයූ බවය. මෙය ජාත්‍යන්තර ගිවිසුම් උල්ලංඝනය කිරීමක් බව පවසන රුසියාව, යුද්ධය ආරම්භ වීමෙන් පසු අමෙරිකාව විසින් එහි තිබූ වැදගත් ද්‍රව්‍ය රැසක් යුක්රේනයෙන් පිටතට රැගෙන ගොස් ඇති බවට ද චෝදනා කරයි.
පසුබිම සහ ප්‍රති-චෝදනා
කෙසේ වෙතත්, එක්සත් ජනපදය සහ යුක්රේනය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ ජීව විද්‍යාත්මක තර්ජන අවම කිරීමේ වැඩසටහනක් යටතේ 2005 වසරේ සිට යුක්රේනයේ මහජන සෞඛ්‍ය පර්යේෂණාගාර දියුණු කිරීම සඳහා අමෙරිකාව උදව් කර ඇති බවය. මෙහි මූලික අරමුණ වූයේ පැරණි සෝවියට් සමූහාණ්ඩුව පැවති සමයේ ඉතිරි වූ රෝග කාරකයන් සුරක්ෂිත කිරීම, රෝග ව්‍යාප්තිය වැළැක්වීම සහ භයානක ද්‍රව්‍ය වැරදි පාර්ශවයන් අතට පත්වීම වැළැක්වීම මිස අවි නිෂ්පාදනය කිරීම නොවන බව ඔවුහු පවසති.
මෙම පර්යේෂණාගාරවල හිමිකාරීත්වය සහ පාලනය පවතින්නේ යුක්රේනය සතුව මිස අමෙරිකාව සතුව නොවන බවත් මේවා ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වන, කොවිඩ්-19 වැනි රෝගී තත්ත්වයන් නිරීක්ෂණය කිරීම ඇතුළු සෞඛ්‍ය පර්යේෂණ සඳහා භාවිත කරන ආයතන ද බවත් යුක්රේනය පවසයි. යුක්රේනය තුළ ජීව විද්‍යාත්මක අවි වැඩසටහනක් ක්‍රියාත්මක වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව අමෙරිකාව, යුක්රේනය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ද අවධාරණය කර ඇත.
2022 වසරේදී, එවකට අමෙරිකානු දේශපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් (Victoria Nuland) තහවුරු කළේ යුක්රේනය තුළ ජීව විද්‍යාත්මක පර්යේෂණ පහසුකම් පවතින නමුත්, ඒවා ආරක්ෂක සහ මහජන සෞඛ්‍ය අරමුණු සඳහා පමණක් භාවිත වන බවය.
බිඩෙන් පරිපාලනය රුසියාවේ මෙම ප්‍රකාශ “අසත්‍ය ප්‍රචාර” (Disinformation) ලෙස හැඳින්වූ අතර, රුසියාව විසින්ම රසායනික හෝ ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙවැනි අසත්‍ය නිදහසට කරුණු නිර්මාණය කරමින් සිටින බවට එකල අනතුරු ඇඟවීය.
ස්වාධීන කරුණු පරීක්ෂකයින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බොහෝ ජාත්‍යන්තර විශේෂඥයින් රුසියාවේ මෙම ජීව විද්‍යාත්මක අවි චෝදනා සඳහා සාක්ෂි නොමැති බවය.
රුසියාවේ විමර්ශන කමිටුව විසින් නිකුත් කරන ලද මෙම නවතම ප්‍රකාශය හරහා, කිසිදු නව මහජන සාක්ෂියක් ඉදිරිපත් කිරීමකින් තොරව ඔවුන් කලක පටන් සිදු කරන චෝදනා නැවත වරක් පුනරුච්චාරණය කර ඇති බව බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ.







