2025 වර්ෂයේදී රට පුරා පිහිටි ජනාධිපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් ගෙන නොමැති වුවද, ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. කොළඹ කොටුව, මහනුවර, අනුරාධපුර, කතරගම, මහියංගනය, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටි මෙම ජනාධිපති මන්දිර හතෙහි විදුලිය, දුරකතන ඇතුළු අනෙකුත් පහසුකම් වෙනුවෙන් එම වර්ෂය තුළ රුපියල් 32,982,675 ක මුදලක් වැය කර ඇති බවත්, අදාළ කාලය තුළ එහි පවත්වා ඇත්තේ රැස්වීම් තුනක් පමණක් බවත් එම විගණන වාර්තාව මඟින් පෙන්වා දී තිබිණි.
එමෙන්ම කතරගම, මහියංගනය සහ බෙන්තොට යන මන්දිරවල 2025 වර්ෂය තුළ කිසිදු රැස්වීමක් හෝ නවාතැන් ගැනීමක් සිදු කර නොමැති වුවද, එම මන්දිරවල දුරකථන, විදුලිය ඇතුළු අනෙකුත් නඩත්තු වියදම් සඳහා පමණක් රුපියල් 2,447,754 ක මුදලක් දරා ඇති බවද විගණන කාර්යාලය අනාවරණය කර තිබේ. ජාතික විගණන කාර්යාලය මඟින් හෙළිදරව් කරන ලද මෙම වියදම් සහ පුද්ගල නවාතැන් ගැනීම් පිළිබඳ සංඛ්‍යාලේඛන පාදක කරගනිමින් මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟ, ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ පැහැදිලි කිරීම් සහිත නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය මඟින් ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කර සිටින්නේ ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන සිටි බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
අදාළ කාලසීමාව තුළ ජනාධිපති මන්දිර පරිශ්‍රවල පිහිටි වෙනත් බාහිර ගොඩනැගිලිවල ආරක්ෂක අංශ, මාධ්‍ය සහ අනෙකුත් අංශවල නිලධාරීන් සිය රාජකාරීමය අවශ්‍යතා වෙනුවෙන් විවිධ අවස්ථාවලදී නවාතැන් ගෙන ඇති බව එම අංශය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, එම රාජකාරි නිලධාරීන් කිසිවකුත් කිසිදු අවස්ථාවක ප්‍රධාන ජනාධිපති මන්දිර ගොඩනැගිලි තුළ නවාතැන් ගෙන නොමැති බවත්, ඒ අනුව පිටස්තර පුද්ගලයන් මන්දිරවල නවාතැන් ගත් බවට පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.







