ඉඳුනිල් කහටපිටිය –
පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් නිල වශයෙන් ස්ථාපිත කිරීමට අදාළ ගැසට් නිවේදනය අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් නිකුත් කර තිබේ.
බන්ධනාගාර ආඥා පනතේ 2 වන වගන්තියෙන් (54 වන අධිකාරිය වූ) බන්ධනාගාර ආඥාපනතේ කාර්යයන් සඳහා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ දැනට පවතින දැඩි තදබදයට කඩිනම් විසඳුමක් ලබා දීමේ අරමුණිනි.
ඒ අනුව, මෙම ආඥාපනතේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සමස්ත ශ්‍රී ලංකාවටම බලපැවැත්වෙන පරිදි අධිකරණ බල සීමාව සහිතව පැරණි බෝගම්බර බන්ධනාගාරය මෙලෙස බන්ධනාගාරයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
මහනුවර පිහිටි ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය වසර 138 ක දීර්ඝ කාලයක් පුරා මෙහෙයුම් කටයුතු සිදු කිරීමෙන් පසු 2014 වසරේදී වසා දැමීමට කටයුතු කෙරිණි. එහි රඳවා සිටි රැඳවියන් සියලු දෙනා පල්ලේකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරය වෙත මාරු කර යැවීමෙන් අනතුරුව මෙතෙක් කාලයක් එහි බන්ධනාගාර කටයුතු අත්හිටුවා තිබුණි.
පෙරේදා (07) දිනයේ දී ගාල්ල, මහමෝදර පැරණි මාතෘ රෝහල් පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් පිහිටුවීමට අදාළව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලේය.









