උපෙක්ෂා උඩුවරැල්ල –
වැලිකඩ බන්ධනාගාරය ඛේදවාචක නුහුරු තැනක් නොවේ. රාජ්‍ය භාරයේ සිටි රැඳවූවන් පෝලිම්කර වෙඩි තබා ඝාතනය කළ වේදනාත්මක ඉතිහාසයක් වැලිකඩට තිබේ. ඒ වැලිකඩ බන්ධනාගාර භූමිය යළිත් කම්පනය වෙනු දුටුවෙමි.
නටබුන් වූ ජීවිත ප්‍රාර්ථනා අතර ජීවත් වීම මහා දුෂ්කර කටයුත්තකි. එක පැහැර පෙරහරට එන අවමංගල්‍ය රථ හත වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ප්‍රවේශයෙන් ඇතුළු වෙමින් තිබේ. සඳුදා උදේ රාජකාරියේ නියුතුව සිටි සිය ආදරණීය සහෘදයන්ගේ අවසන් දැකුම ඔවුහු දකිමින් හිඳති. ඒ මොහොත පොලොව දෙදරුම්කවන කම්පනයක් ඇති කර ඇති අයුරු අත් විඳමින් හිඳිමි.
ගෞරව බහුමානයෙන් යුතුව රැගෙන පැමිණි අවමංගල්‍ය රථවල තැන්පත් කළ දේහයන් සහෘද නිලධාරීන් විසින් භාරගෙන වැලිකඩ අභ්‍යාස පුහුණු විද්‍යාලයේ ශාලාව වෙත රැගෙන විත් තැන්පත් කරනු පෙනේ. සැරයන් ආර්.පී.ආර්. සංජීව, සැරයන් බී.එන්.එන් තරංග, සැරයන් ටී.එන්.ආර් තිලකසිරි, සැරයන් ඩී.ඩබ්ලිව් පුෂ්පකුමාර, සැරයන් එස්.ඩී.එස් අබේවර්ධන, පළමු පෙළ ජේලර් එස්.එච්.ජී. චන්ද්‍රවංශ, සැරයන් ඒ.ඩී තරංග නිල ඇඳුමින් සැරසී සිය අවසන් ගමන් යෑමට සූදානම් දෙන මත හිඳිති. ශාලාව තුළ ඉන්නේ මහා වේදනාවකින් පිපිරී යන්නට ආසන්න මිනිස්සුය.
එක් එක් දේහය තැන්පත් කර ඇති පෙට්ටියේ පියන්පත් විවර වෙමින් ඇත. මුලු ශාලාවම එක මොහොතක මහා ආඳෝනාවකින් ගිලී යනු අසා සිටියෙමි. නිල ඇඳුම් සහිතව පෞරුෂවත් රාජකාරි කරන තේජාන්විත මිනිස්සු සිය සහෝදර නිලධාරීන්ගේ දේහයන් දකිමින් නොදරුවන් සේ හඬා වැටෙන ආකාරය දකින දකින උන් කම්පනය කරවයි. මේ නිල ඇඳුම් තුළ ජීවත්වෙන සංවේදී සැබෑ මිනිස්සුන්ගේ ස්වරූප මෙතරම් ගැඹුරු ලෙස චිත්රනය වුන අවස්ථාවක් මෑත කාලයේ දී මතකයට නැගෙන්නේ නැත.

මේ මොහොතට අධිකරණ ඇමති නීතිඥ හර්ෂණ නානායක්කාර ද පැමිණ ඇත. ඒ සංවේදී වටපිටාව ඔහුගේ ඇස්වලට ද කඳුළු නන්වනු දුටුවෙමි. “ සර්… මේ මැරුණ එක් කෙනෙක්වත් හිරකාරයෙකුගෙන් වතුර උගුරක්වත් බොන අය නෙමෙයි… ආයෙ මේ වගේ සිද්ධි වෙන්න තියන්න එපා. නිලධාරීන් විදිහට රාජකාරි කරන මිනිස්සුන්ව ආරක්ෂා කරන වැඩපිළිවෙළක් හදන්න…“ හඬා වැටෙන එක් නිලධාරියෙක් ඇමතිවරයා අමතා කියනු අසා සිටියෙමි. ඇමතිවරයා ඔහුගේ දෙඅත් වැළඳෙගන සිටිනු පෙනුනි.
මේ සංවේදී වීම් මේ වැළඳගැනීම්වල ඇති ඵලය කුමක්දැයි වැටහෙන්නේ නැත. ඊයේ දිනය පුරාම මේ ගැටුම සම්බන්ධව විවාදයක් පාර්ලිමේන්තුව තුළ හටගෙන තිබිණි. මිනී මැරුම් දෙකක් සිදුවී 38 දෙනෙක් තුවාල ලැබූ බිහිසුණු ගැටුමකින් අනතුරුව මිනීමරු සැකකරුවන් සහ කලහකාරීන් 2400ක් වූ බන්ධනාගාර රැඳවියන් අතර මුහුව සිටිය දී කිසිම ගැඹුරු ආරක්ෂ පියවරක් නොගෙන පසුදා බන්ධනාගාරය තුළ සුපුරුදු රාජකාරි පිළිවෙත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ ගොබ්බ තීරණය දෙවැනි දිනයේ දී ජීවිත 25ක් විනාශ කිරීම තෙක් ප්රශ්නය රැගෙන ගිය බව විපක්ෂය චෝදනා කළේය.
ඇමතිවරයාගෙන් සඳුදා දිනයේ දී මිය ගිය ගණන විමසූ විට නොදන්නා බවත් තමන් “ෂෝෂල් මීඩියා“ නොබැලූ බවත් කළ ගොං ප්‍රකාශය සම්බන්ධව ද විපක්ෂ මන්ත්‍රි නීතිඥ අජිත් පී පෙරේරා ප්‍රශ්න කළේය. ඇමතිවරයාගේ ඒ වගකීම් රහිත අමන ප්‍රකාශය සම්බන්ධවනම් අප හැමෝටම ප්‍රශ්නයක් තිබිණි. ඇමතිට මේ තරම් බිහිසුණු ගැටුමක දී තොරතුරු ලැබෙන්නේ සමාජ මාධ්‍යවලින් නම් එවන් ඇමතියෙක් පොල්පිත්තකින් කපා ගැනීමට අජිත් පෙරේරා යෝජනා කළේය.
බන්ධනාගාරයේ ඉහළම පරිපාලන පුරප්පාඩු වී ඇති බවත්, බන්ධනාගාර අධ්යක්ෂ ජනරාල්වරයා වැඩ බලන පුද්ගලයෙක් බවත් ඔහුට නිසි ලෙස සිය ධූරයේ කටයුතු කිරීමේ අවස්ථාව නොමැති බවත් විපක්ෂය කීවේය.
එමෙන්ම හර්ෂණ රාජකරුණා මෙන්ම අජිත් පී පෙරේරා ද චෝදනා කළේ ගැටුම ඇතිවනවිට කිසිම නිසි පියවරක් ලබා නොගත්තා පමණක් නොව නිලධාරීන්ට අවශ්‍ය දේශපාලන නායකත්වය ලබා දීමේ මැදිහත්වීමට අඩුම තරමින් තම දුරකථනයට එන ඇමතුමකට හෝ ප්‍රතිචාර දැක්වීමට ඇමති කටයුතු නොකළ බවය. අදත් විපක්ෂය පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ මේ සිද්ධියට සිය විරෝධය පල කිරීම සදහා කළු පටි බැඳගෙනය.
මිය ගිය නිලධාරීන් කවුද?

මේ මිය ගොස් ඇත්තේ බන්ධනාගාරයේ ක්ෂණික ප්‍රහාරක උපක්රමික බලකාය (Prison Special Tactical Unit / Prison Emergency Response Strategic Force) ලෙස හඳුන්වන විශේෂ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරීන්ය.
බන්ධනාගාර පරිශ්‍රයන් තුළ ඇති වන සිරකරුවන්ගේ කැරලි, දරුණු ගැටුම් සහ නොසන්සුන්කාරී තත්ත්වයන් කඩිනමින් මර්දනය කර සාමය ස්ථාපිත කිරීම., බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්, ජංගම දුරකථන භාවිතය ඇතුළු දූෂණ සහ විෂමාචාර ක්‍රියා වඩාත් විනිවිදභාවයකින් යුතුව වැළැක්වීම සහ පාලනය කිරීම, බන්ධනාගාරගත කර සිටින විශේෂ ගණයේ (අතිශය භයානක) සිරකරුවන් සහ සැකකරුවන්ගේ ආරක්ෂාව මෙන්ම ඔවුන්ගෙන් එල්ල විය හැකි අවදානම් කළමනාකරණය කිරීම, රාජ්‍ය බුද්ධි සේවාවන් සමඟ ඒකාබද්ධව බන්ධනාගාර අභ්‍යන්තරයේ සිදුවන නීතිවිරෝධී සැලසුම් පිළිබඳ බුද්ධි තොරතුරු රැස්කිරීම සහ විමර්ශන මෙහෙයවීම, තර්ජනවලට ලක්ව ඇති බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ බන්ධනාගාරවල උපරිම ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා විශේෂිත සන්නද්ධ සහ උපක්රමික මෙහෙයුම් දියත් කිරීම මෙම නිලධාරීන්ගේ රාජකාරි වගකීම්ය.
රජය ප්‍රකාශ කරන්නේ ඉරිදා පෙරවරුවේ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම සමථයකට පත් වූ පසු වෙනත් විශේෂ ආරක්ෂක සේවා කැඳවීමකින් තොරව බන්ධනාගාර ආරක්ෂක අංශ සඳුදා දිනයේ දී බන්ධනාගාරය තුළ තත්ත්ව කළමනාකරණය සිය භාරයට ගත් බවය.
නිලධාරීන් ඝාතනය කළ ආකාරය
එහෙත් සඳුදා දිනයේ දී බන්ධනාගාරය තුළ යළි නොසන්සුන්තාවයක් හටගත් බවත් එය මැඩපැවැත්වීමට ගිය බන්ධනාගාර නිලධාරීන්ට රැඳවියන් විසින් දරුණු ලෙස පහර දුන් බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක අපට කීවේය.
එම අවස්ථාවේදී නිලධාරීන් ප්‍රධාන දොරටුව දෙසට දිවවිත් ඇති අතර රැඳවියන් ද ඔවුන් පසුපස පන්නාගෙන විත් පහර දී ඇත. පහර දී බිම වැටුණු නිලධාරීන්ගේ හිස් කුඩු වන සේ දැවැන්ත කළු ගල් අතහැර ඝාතනය කිරීමට තරම් මේ රැඳවූවන් මෘග වී තිබිණි.
මෙම දරුණු ප්‍රහාරය හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් 17 දෙනෙකු, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 6 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 3 දෙනෙකු ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන් 26 දෙනෙකු තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලබමින් සිටී.
පාර්ලිමේන්තුවේ දී හර්ෂණ රාජකරුණා කීවේ සිද්ධිය සම්බන්ධ පූර්ව බුද්ධි තොරතුරක් ලැබී තිබුණු බවය. එහෙත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේ දී රටට සහතික කර කීවේ එවැනි පූර්ව බුද්ධි තොරතුරු ලැබී නොතිබුණ බවය.
චෝදනාවට ලක්වන සිද්ධියක් වන්නේ ඉරිදා මිනීමැරුම් දෙකක් සිදුවී පුද්ගලයින් 37 දෙනෙක් තුවාල ලද බිහිසුණු ගැටුමකින් පසු එම මිනීමරුවන් දාමරිකයින් බන්ධනාගාරය තුළ සිටියදීම සුපුරුදු දෛනික රාජකාරිය කරන්නට යන රජයේ ක්‍රියා පටිපාටිය ය. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා කීවේ සඳුදා දිනය රැඳවියන්ගේ ඥාතීන් පැමිණෙන දවසක් බැවින් සහ ඔවුන්ගේ ආහාර, දුරකථන ඇමතුම් වැනි මානුෂීය අවශ්‍යතා ඉටු නොකළහොත් තත්ත්වය තවත් නොසන්සුන් විය හැකි බැවින් සුපුරුදු පරිදි රාජකාරි ක්‍රියාවලිය පවත්වාගෙන ගිය බවයි.
දෙවැනි දිනයේ වෙඩි තැබීමට හේතුව: ප්‍රධාන දොරටු කඩා සමාජයට පැනීමේ උත්සාහයක්
නොසන්සුන්තාව ඇති වූ දෙවන දිනයේදී (ජූලි 7) ආරක්ෂක අංශ ගිනිඅවි යොදාගනිමින් වෙඩි තබන ආකාරය නිරීක්ෂණය වූ අතර ඒ පිළිබඳව සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය විය. මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර ප්‍රකාශ කළේ රැඳවූවන් බන්ධනාගාරයේ පළමු යකඩ දොර ද කඩාගෙන ලෑලි දොර අසලටම පැමිණි බැවින් මෙම තීරණය ගැනීමට සිදු වූ බවය.
“බන්ධනාගාරයක ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා. ඉස්සෙල්ලාම තියෙන්නේ යකඩ දොර, ඊට පස්සේ තමයි ලෑලි දොර තියෙන්නේ. මේ දෙක අතර වටිනා උපකරණ තියෙනවා. රැඳවියන් යකඩ දොරත් කඩාගෙන ලෑලි දොර පැත්තට ආවා. ඔවුන් ඒ ලෑලි දොරත් කඩාගෙන එළියට ආවා නම් හැමෝම සමාජයට පලා යනවා. එවිට සිදුවන විනාශය තක්සේරු කරන්න බැහැ. ඒ වෙනකොටත් අපේ නිලධාරීන් විශාල පිරිසක් ඇතුළේ රැඳවියන් අතර කොටුවෙලා පහර කමින් සිටියේ. ඔවුන්ගේ ආරක්ෂාව සහ රැඳවියන් පලායාම වැළැක්වීමට තිබූ එකම පියවර ලෙසයි ලෑලි දොර දෙසින් වෙඩි තැබීම සිදු කළේ.”
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රැඳවියන් බන්ධනාගාරයේ සවිකර තිබූ බොඩි ස්කෑනර් සහ CCTV කැමරා පද්ධති ද සම්පූර්ණයෙන්ම විනාශ කර ප්‍රධාන දොරටුව කැඩීමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව අවම බලය යොදා තත්ත්වය පාලනය කළ බවය.
රැඳවියන් අතට ආයුධ ලැබුණු හැටි ගැන විමර්ශන
මේ අතර, මීගමුව බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්තාවට මූලික වූ රැඳවියන් අතට ආයුධ ලැබී තිබුණු බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් තහවුරු කළේය.
සිද්ධියේ බරපතළකම පෙන්වා දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය: “ප්‍රහාරයට ලක්වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙදෙනෙක්. ඔවුන්ට පහර දෙනකොට අනිත් අය බේරාගන්න ඇවිත් තියෙන්නේ. බහුතරයක් නිලධාරීන් අමානුෂික පහරදීමට ලක්වෙලයි මියයන්නේ. දැනට තියෙන තොරතුරු අනුව රැඳවියන් අතට යම් ආයුධයක් දෙකක් පත්වෙලා තියෙනවා. ඒක කොහොමද වුණේ කියලා පුළුල් විමර්ශනයක් හරහා සොයා බලනවා. එම අවස්ථාවේදී නිලධාරීන් තමන්ගේ ආත්මාරක්ෂාව වෙනුවෙන් වෙඩි තබා තිබෙනවා.”
මෙම සිදුවීමට අමාත්‍යවරයා ලෙස තමන් වගකීම භාරගන්නා බවත්, මේ වන විට විශේෂ කැබිනට් කමිටුවක් මඟින් විමර්ශන කටයුතු කඩිනම් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
වගකීම භාරගත් විට සියල්ල හරි ද?

හර්ෂණ නානායක්කාර ඇමතිවරයා වගකීම භාරගත් විට සියල්ල හරියන්නේ නැති බව විපක්ෂයේ අදහසය. දේශපාලකයෙකුට වගවීමක් ඇති බවත් මේ ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් විපක්ෂය දැන් කියන්නේය.
කෙසේ වෙතත් අප පසු කර ඇවිත් ඇත්තේ හරක්කටා වැනි අපරාධකරුවන්ගෙන් කප්පම් ගත් බවට චෝදනා එල්ලවන බන්ධනාගාර සහ අධිකරණ ඇමතිවරුන් සලකුණු කළ බන්ධනාගාර ඉතිහාසයකි. පාතාල කල්ලිවලින් කප්පම් ලබාගෙන බන්ධනාගාරගතව සිටින ප්‍රතිවිරුද්ධ පාතාල නායකයන් විමර්ශනය සඳහා තමන් භාරයට ගෙන වෙඩි තබා ඝාතනය කළ පොලිස්පතිවරුන් පසු කර පැමිණි ඉතිහාසයකි. 900කට ආසන්න ධාරිතාවක් ඇති තැනක අපරාධ චෝදනා ලද 2400ක් කොටු කර තැබූ විට සිදුවිය හැකි බිහිසුණුම දේ මෙය නොවන බව කිව යුතුය.
සිදුවීමට නියමිතව තිබූ අපරාධයක ගොදුරු ලෙස සඳුදා උදේ රාජකාරියට පැමිණි නිලධාරීන් 07 දෙනෙක් අද ඔවුන්ගේ නිවසට යන්නේ පෙට්ටිවලය. රැඳවූවන් ද මිනිස්සුය. බන්ධනාගාරයට දඬුවමක් විඳීමට පැමිණි ඔවුන්ගෙන් 20 දෙනෙක් නැවත පණ පිටින් නිවෙස් වෙත කවදාවත් එන්නේ නැත.
බන්ධනාගාරයක් යනු ශිෂ්ඨාචාරවත් සමාජයක සමාජ ස්වරූපයේ කියැවීමකි. රාජ්‍ය භාරයේ සිටින බන්ධනාගාර රැඳවියන් බුරුතු පිටින් මිය යෑම මෙන්ම බන්ධනාගාර පරිපාලන නිලධාරීන් බන්ධනාගාරයක් තුළ කණ්ඩායම් ලෙස ගුටි කා මි යෑම එක් අතකින් ඒ සමාජයේ ස්වරූපය කියවා ගැනීමට අවස්ථාව සලසන්නේය. එය රටක අශිෂ්ඨත්වයේ සහ පරිපාලනමය නොහැකියාවේ ප්රකාශනයකි.
එකවර අරුමයක් පහළවනු ඇතැයි අප කිසිවෙක් කල්පනා කළේ නැත. එහෙත් පෙර පුරුදු කාලකණ්ණිකම්වල බිහිසුණුකම ඒ අයුරින්ම මතුවී පුපුරායෑම වේදනාවක් බව පමණක් ලියා තබා මේ සටහන නිමා කරමි.







