අසේල කුරුළුවංශ
හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය, සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ලබන අගෝස්තු මස 13 වනදා ආරම්භ වන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කරයි.
ඒ අනුව නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සතර මහා දේවාලයන්හි අගෝස්තු 13 වැනිදා අලුයම 6.17 ට යෙදෙන සුබ මොහොතින් උතුරු දිශාභිමුඛව කප් සිටුවීමට නියමිතය. කප් සිටුවීමෙන් අනතුරුව එදින සිට අගෝස්තු 17 දක්වා පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
මහනුවර ඇසළ මංගල්‍යයේ වීදී සංචාරය ආරම්භ කරමින් ප්‍රථම කුඹල් පෙරහර අගෝස්තු 18 වැනිදා වීදි සංචාරය කිරීමට නියමිත බව දියවඩන නිලමේවරයා සඳහන් කළේය. පස්වන කුඹල් පෙරහර අගෝස්තු 22 වැනිදා වීදි සංචාරය කිරීමෙන් පසු, අතිවිචිත්රවත් රන්දෝලි පෙරහර ආරම්භ වේ.
රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස 23 දා සිට 27 දක්වාය. අවසන් රන්දෝලි මහ පෙරහර නිකිණි පුන් පොහෝ දිනය යෙදෙන අගෝස්තු 27 වනදා වීදි සංචාරය නිමා කර ගෙවැදීමෙන් පසු, ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර අස්ගිරිය ගෙඩිගේ ආදාහන මළුව රජමහා විහාරස්ථානය වෙත ගමන් කර පෞරාණික චාරිත්‍රානුකූලව පෙරහර කරඬුව එහි තැන්පත් කෙරේ.
අනතුරුව සිව් මහා දේවාල පෙරහර ගැටඹේ දියකපනා තොට වෙත ගමන් කර, අගෝස්තු 28 වනදා අලුයම් කාලයේදී දිය කැපුම් මංගල්‍යය සිදු කරනු ලබයි. එදින දහවල් දවල් පෙරහර වීදි සංචාරය කිරීමෙන් මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථකව නිමාවට පත්වන බව ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේය.
මෙම නිල ප්‍රකාශය සිදු කෙරුණු අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි මහවෙල රතනපාල නාහිමිවරුන් ද, නාථ, විෂ්ණු, කතරගම දේවාල බස්නායක නිලමේවරුන් ද, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.









