ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා රුපියල් මිලියන හැත්තෑවක මුදලක් ලබාගෙන සාපරාදීව විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගය සඳහා ලබන නොවැම්බර් 16 වන දිනට කොළඹ මහාධිකරණය අද (07) නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපරණා සුවඳුරුගොඩ ඉදිරියේ මෙම නඩුව කැඳවූ අතර, එහිදී ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකු වෙනුවෙන් විදේශීය සාක්ෂිකරුවන් සඳහා නියමිත රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදය යටතේ සිතාසි නිකුත් කරන ලෙස විනිසුරුවරිය නියෝග කළාය.
නඩුවේ පසුබිම
නීතිපතිවරයා විසින් 2025 ජනවාරි 28 වැනිදා කොළඹ මහාධිකරණය ඉදිරියේ ගොනු කළ අධිචෝදනා පත්‍රයට අනුව, නාමල් රාජපක්ෂ ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රු. මිලියන 70ක මුදලක් ලංකාවේ රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලබාගෙන ඇති බව සඳහන් වේ. එහෙත් එම මුදල් සාපරාදීව පුද්ගලික අරමුණු සඳහා භාවිතා කරමින් සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධ නීති උල්ලංඝනය කර ඇති බවට එහි චෝදනා එල්ල වී ඇත.
මෙම සිදුවීමට අදාළ ප්‍රථම පැමිණිල්ල 2015 වසරේදී වත්මන් අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් ඉදිරිපත් කරන ලද අතර, ඒ අනුව මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (FCID) මඟින් පුළුල් විමර්ශනයක් සිදුකළේය. පසුව 2016 වසරේදී නාමල් රාජපක්ෂ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඇප මත මුදා හැරිණි.
නඩු ක්‍රියාවලියේ ප්‍රගතිය
නඩුව ගොනු කිරීමෙන් පසු අවස්ථා කිහිපයකදීම එය කල් තැබුණු අතර, පසුගිය ජූනි 25 වැනිදා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ අදාළ ඉන්දීය සාක්ෂිකරුවන් දෙදෙනා සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති බවයි. ඒ අනුව එදින නිකුත් කෙරුණු සිතාසි නියෝගය අද දිනත් තහවුරු කළ මහාධිකරණ විනිසුරුවරිය, නඩුවේ සාක්ෂි විභාගය එළඹෙන නොවැම්බර් 16 වැනිදා ආරම්භ කිරීමට තීරණය කළාය.
නඩු විභාගය පැවැත්වෙන දිනය වන තෙක් මන්ත්‍රීවරයාට පනවා ඇති ඇප කොන්දේසි එලෙසම බලපැවැත්වේ.









