අසේල කුරුළුවංශ –
පාතාලයින් අයි.ආර්.සී කාරයින් මහජන නියෝජිතයන් ලෙස පත්ව එන විට ඔවුන්ගේ ආරක්ෂාව සැපයීම පිළිබඳ සංකීර්ණ තත්ත්ව මතුවන බවත් නීති විරෝධී කටයුතුවල යෙදෙන අපරාධකරුවන් නොව නීතිගරුක වැදගත් පුරවැසියන් තම දේශපාලන පක්ෂවල නියෝජිතයන් ලෙස නම් කරන ලෙසත් පොදුවේ රටේ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බවත් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පැවසුවේය.
කෙසේ වෙත්ත රටේ කවර හෝ අයෙකුට ජීවිත තර්ජනයක් පවතින්නේ නම් දේශපාලන භේදයෙන් තොරව එම පුද්ගලයාගේ රැකවරණය වෙනුවෙන් අවශ්‍යය උපරිම මැදිහත්වීම කරන ලෙස පොලිස්පතිවරයා වෙත තමන් දැනුම් දී තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කීවේය.
ඇමතිවරයා පෙන්වා දුන්නේ අද පවතින තත්ත්වය අනුව මරණීය තර්ජන දේශපාලකයින්ට පැමිණෙනවා නම් බොහෝ අවස්ථාවල එහි මුලය පාතාලය හා පවතින කුමණ හෝ සම්බන්ධකමක් සමග බැඳී ඇති බවය.
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආනන්ද විජේපාල ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
“මරණ තර්ජනයක් හෝ අනාරක්ෂිත බවක් සම්බන්ධයෙන් තමන්ට තොරතුරක් ලැබුණොත් ඒ පිළිබඳව වහාම පොලීසිය දැනුවත් කළ යුතුයි. එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් වහාම අවශ්‍යය මැදිහත්වීම කරන්න කියලා අපි පොලීසියට දැනුම් දී තිබෙනවා. පසුගිය දිනක ප්‍රාදේශිය සභා සභාපතිවරයක් ඝාතනයට ලක් වුණා. අපි ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා. මොන තරාතිරමේ පුද්ගලයෙකුගේ වුවත් ජීවිතය ආරක්ෂා කර ගැනීම වැදගත්. “
“තමන්ට තර්ජනය තිබෙන බව කියමින් සභාපතිවරයා ආරක්ෂාව ඉල්ලා තිබුණු බව පොලිස්පති මගින් දැන ගන්න ලැබුණා. එ් වෙනුවෙන් යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබුණු බව පොලිස්පති මට දැනුම් දුන්නා. මේ රටේ කවුරු හෝ තර්ජනයට ලක්වනවා නම් දේශපාලන භේදයෙන් තොරව ඒ අයගේ රැකවරණය වෙනුවෙන් රජය මැදියත් වෙනවා. අපිට හැම ජීවිතයක්ම වටිනවා. මිනිස් ජීවිතය එක් එක් අයුරින් තක්සේරු කරන්න හැකියාවක් නැහැ. ඒක දේශපාලනය අනුව තෝරන්න පුළුවන්කමක් නැහැ. ස්වාධීනව ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න කියලා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. දේශපාලන මැදිහත්වීමක් එහිදී කරන්නේ නැහැ.”
“මහජන නියෝජිතයෙකුට ආරක්ෂාව ලබාදීම සම්බන්ධව ගැටලුවක් නැහැ. මහජන නියෝජිතත්ත්වයට පත්වන සමහර අය විවිධ නීති විරෝධී ක්‍රියාවල නියුක්ත වෙනවා. ඒ වගේ අවස්ථාවල ඔවුන්ට ආරක්ෂාව ලබා දීමේදී යම් යම් ගැටලු පැන නගිනවා. ඒ හැර මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කරන කිසිවෙකුට ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇවිල්ලා නැහැ. “
“නැගෙනහිර පළාතේ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයෙකුට ආරක්ෂාව සපයා තිබෙනවා. අවශ්‍යය සෑම අවස්ථාවකම තර්ජනය ගැන පොලීසිය සැලකිලිමත් වෙනවා. මහජන නියෝජිතයින් ලෙස කටයුතු කරන අතරතුර නීති විරොධී ක්‍රියාකාරම් වල යෙදෙන අයත් සිටිනවා. ඒ අය ආරක්ෂාව ඉල්ලන අවස්ථාවේදී ඒක ඉටුකර දීම සම්බන්ධයෙන් පොලීසියට බාධා මතු වෙනවා. මොකද යම් අපරාධ ක්‍රියාකාරීත්වයක යෙදෙමින් පොලීසියේ රැකවරණය ඉල්ලීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා. නමුත් ජීවිත පිළිබඳ සැලකිලිමත් වී පොලීසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. “
“පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි අපරාධකරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන් ඉන්නවා. ඇත්තටම ආරක්ෂාව සපයන්න තිබෙන්නේ ඔවුන්ට නෙවෙයි වින්දිතයින්ට හා සාක්කිකරුවන්ටයි. “
“නීති විරෝධි ක්‍රියාකාරකම් වල යෙදුණු පුද්ගලයෙකු මහජන නියෝජිතයෙකු බවට පත් වුණාම ඔහුට යම් ආරක්ෂාවක් සපයන්න පොලිස් දෙපාර්තමේන්තුවට ඉඩක් ලැබෙනවා. ඒ අනුව කටයුතු කරනවා. නීති විරෝධීව පාතාල ක්‍රියාකාරකම් හෝ සංවිධාන්තමක අපරාධ සම්බන්ධයෙන් ඉන්න පිරිස් වලට පොලිස් දෙපාර්තමේනතුව පැත්තෙන් රැකවරණය සපයන්න බැහැ කියන එක තමයි මම කිව්වේ. ඔවුන් නීතියට යටත්වෙලා නීතියේ රැකවරණය ගන්න ඕන. සියලු පක්ෂ වලට යෝජනා කරන්නේ නීති ගරුක පුද්ගලයින් මහජන නියොජිතයින් ලෙස පත් කරන්න ගන්න කියලයි.”







