ශ්‍රී ලංකාව තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මුල්‍ය සහයක් ඉල්ලා නොමැති බවත් එවැනි ඉල්ලීමක් කළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටින බවත් එම අරමුදල ශ්‍රී ලංකා කාර්යාල ප්‍රධානී නසාහිරෝ නොසාකි අද මාධ්‍යයට පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රජයේ පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කිරීමෙන් පසුව.
මේ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිතයා සඳහන් කර ඇත්තේ මුදල් අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය අනුව මෙරටට පැමිණෙනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තාක්ෂණික සහය ලබා දෙන කණ්ඩායමක් බවය.
පසුගිය දෙසැම්බරයේ දී දෙවැනි කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් අවශ්‍ය සොයා බැලීම් කළ බවත් ඔහු සඳහන් කර ඇත.
කෙසේ වුවද පවතින මූල්‍ය අර්බුදය හමුවේ කෙසේ සහය ලබා ගන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කර නොමැති අතර එවැනි ඉල්ලීමක් ලැබුණ හොත් වහා සලකා බලන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිතයා සඳහන් කර තිබේ .







