බීබීසී –
-
ව්‍යාජ මත්ද්‍රව්‍ය නඩු පැවරූ ගම්පහ දූෂණ මර්දන අංශයේ තිදෙනෙකුට රුපියල් විසිපන් දහස බැගින් වන්දි ගෙවන්න වෙයි… පොලිස් දෙපාර්තමේන්තුවට ලක්ෂ 2ක වන්දි නියෝගයක්… වන්දි පොලිස් තෑගි අරමුදලින් ලබා දිය යුතුයි… මහේස්ත්‍රාත්වරයා නියෝග කරයි… මේ විදිහට බොරු නඩු දැම්මොත් පොලිසියට නඩු දාන්න මේ රටේ ජනතාවත් මදි වෙයි… මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී කියයි!
මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට ව්‍යාජ සාක්ෂි ගොනු කරමින් පුද්ගලයෙකුට පීඩාකාරී ලෙස නඩු පැවරූ ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ගෙවන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න නියෝග කළේය.
එක් මාසයකට වඩා ඊළඟ මාසයේ නඩු සංඛ්‍යාව ඉහළ නංවා ගත යුතු බවට පොලිසියේ ඉහළ නිලධාරීන් ලබා දෙන නියෝග මත මෙලෙස දිගින් දිගට ම කටයුතු කළහොත්, තවත් වසර 5ක් ගත වන විට පොලිසියට නඩු පැවරීම සඳහා ලංකාවේ ජනගහනය ද ප්‍රමාණවත් නොවනු ඇතැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැඩි ලෙස අවධාරණය කළේ ය.
රට වැසියෙකුට අතිශය පීඩාකාරී වන අන්දමට පොලිස් නිලධාරීන් විසින් මෙම අසාධාරන නඩු පැවරීම සිදු කර ඇතැයි තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා, බල ප්‍රදේශයක නඩු සංඛ්‍යාව ඉහළ යාම යනු සැබවින් ම එම ප්‍රදේශය භාර පොලිසියේ අකාර්යක්ෂමතාව සහ අසමත්භාවය විදහා පෙන්වන්නක් බව ද පෙන්වා දුන්නේ ය.
මෙම අසාධාරණ නඩු පැවරීමට ලක් ව තිබුණේ දූවලපොළ, මාකන්දන පදිංචි චාමර චතුරංග මාරසිංහ නැමැති අයෙකි. ඔහුට එරෙහිව ගම්පහ දූෂණ මර්දන කොට්ඨාසය විසින් පවරා තිබූ නඩු දෙකෙන් ම ඔහු නිදහස් කිරීමට අධිකරණය පියවර ගත්තේ ය.
-
එක ම දිනයේ, එක ම චෝදනාවට නඩු දෙකක්!
පොලිසිය විසින් ගොනු කර තිබූ පැමිණිල්ලට අනුව, 2026 මැයි 06 වන දා හෝ ඊට ආසන්න දිනෙක ගම්පහ අස්ගිරිය මංසන්ධියේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 130ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 500ක් ළඟ තබා ගත් බවට චාමර චතුරංග නැමැත්තාට එරෙහිව ගම්පහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් මෙම නඩු පවරා තිබිණි. එහි සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුණේ එම කොට්ඨාසයේ ම පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකි.
අදාළ පුද්ගලයාට එරෙහිව එක් මත්ද්‍රව්‍ය නඩුවක් කැඳවූ අවස්ථාවේදී ඔහු වරද පිළිගැනීම නිසා දඩයක් නියම කෙරුණු අතර, ඉන් සුළු මොහොතකට පසු එම චෝදනාව යටතේ ම ඔහුට එරෙහිව තවත් නඩුවක් කැඳවීමට පොලිසිය කටයුතු කර තිබිණි.
එක ම පුද්ගලයෙකුට එරෙහිව එක ම දිනක නඩු දෙකක් පවරා ඇති අන්දම නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න, මෙලෙස ජනතාව පීඩාවට පත් කරමින් නඩු පැවරීම සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(1) වගන්තිය යටතේ ක්‍රියා නොකළ යුත්තේ මන්දැයි විමසීමට අදාළ නිලධාරීන් අධිකරණයට කැඳවුව ද ඔවුන් කිසිවෙකුත් පෙනී සිටියේ නැත.
පසුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයන්වරයා කියා සිටියේ, අදාළ වැටලීමේදී සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බැවින් චෝදනා පත්‍ර වැරදි ලෙස ගොනු වී ඇති බවත්, ඒ අනුව එක් නඩුවක් ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ය.
නමුත් විත්තිකරු වරදකරු කිරීමේ චේතනාවෙන් ම පොලිස් නිලධාරීන් තිදෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කරමින් මෙම නඩු ගොනු කර ඇති බැවින් පොලිසියේ එම ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේ ය.
-
රස පරීක්ෂක වාර්තා සහ පොලිසියේ රෙකෝඩ්ස්
පොලිසිය විසින් විශාල වශයෙන් මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කරන බව පෙන්වූවත්, රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා දෙස බැලීමේදී පොලිසිය සඳහන් කරන ප්‍රමාණයට වඩා ඉතා ම අවම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් හෝ ඇතැම් නඩු භාණ්ඩවල කිසිදු මත්ද්‍රව්‍යයක් අඩංගු නොවන අවස්ථා පවතින බව මහේස්ත්‍රාත්වරයා මෙහිදී හෙළිදරව් කළේ ය.
මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමට ඉහළින් උපදෙස් ලැබී තිබුණ ද පහළ නිලධාරීන් එය ක්‍රියාත්මක කරන්නේ ඉතා ම අවිධිමත් සහ නින්දිත ආකාරයෙන් බව පැවසූ මහේස්ත්‍රාත්වරයා, නඩු සංඛ්‍යාව අනුව පොලිසියේ ප්‍රගතිය මැනීමේ ක්‍රමය මුළුමනින් ම වැරදි බව ද, සැබෑ ලෙස ම අපරාධ මර්දනය වන්නේ නම් මාසයෙන් මාසයට නඩු සංඛ්‍යාව අඩු විය යුතු බව ද පෙන්වා දුන්නේ ය.
එමෙන් ම, ඇතැම් අවස්ථාවල අධිකරණයේ අභිමතය සීමා කිරීමේ උපක්‍රමයක් ලෙස පොලිසිය අන්තරායදායක ඖෂධ පනතේ 54 වගන්තිය අවභාවිත කරන බවත්, මෙහි අවසාන ප්‍රතිඵලය පොලිසිය කෙරෙහි අධිකරණයට ඇති විශ්වාසය පළුදු වීම බවත් මහේස්ත්‍රාත්වරයා අනතුරු ඇඟවීය.
මේ පිළිබඳව කරුණු විමසීමට ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කැඳවා තිබුණ ද ඔහු ද අධිකරණයට නොපැමිණීම පිළිබඳව මහේස්ත්‍රාත්වරයා සිය දැඩි කනගාටුව පළ කළේ ය.
-
පොලිස් තෑගි අරමුදලෙනුත් වන්දි ගෙවන්න නියෝග
- අසාධාරණ ලෙස නඩු පැවරීම සම්බන්ධයෙන් වැටලීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් තිදෙනා විසින් විත්තිකරුට රුපියල් 25,000 බැගින් වන්දි ගෙවිය යුතු ය.
- එමෙන් ම, විෂ වර්ග සහ අබිං අන්තරායදායක ඖෂධ පනත යටතේ අය කෙරෙන දඩ මුදල්වලින් විශාල ප්‍රතිශතයක් පොලිස් තෑගි අරමුදලට බැර වන බැවින්, මෙවැනි නිස්සාරණ නඩු පැවරීම්වලදී ඉන් වන්දි ගෙවිය යුතු බව තීරණය කළ මහේස්ත්‍රාත්වරයා, නඩු දෙක සඳහා පොලිස් දෙපාර්තමේන්තුව (තෑගි අරමුදල) මගින් රුපියල් ලක්ෂයක මුදලක් විත්තිකරුට ගෙවිය යුතු බවට නියෝග කළේ ය. ඒ අනුව සමස්ත වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකකි.
- මෙම නියෝගයේ පිටපතක් වහා ම පොලිස්පතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණ ලේඛකාධිකාරීවරයාට නියම කෙරිණි.
මෙහිදී විශේෂ ප්‍රකාශයක් කළ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න, මෙම නියෝගය ලබා දුන්නේ පොලිස් නිලධාරීන්ගේ වැරදි පුරුදු නිවැරදි කිරීමට මිස ඔවුන් විනය ක්‍රියාමාර්ගවලට යටත් කිරීමට නොවන බවත්, යම් හෙයකින් මෙම පහළ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නේ නම්, මෙවැනි වැරදි වැටලීම් සහ ‘ටාගට්’ ලබා දෙමින් ඔවුන් මෙහෙයවූ ඉහළ සිට සියලු ම නිලධාරීන් ද ඊට වගකීමට යටත් කළ යුතු බවත් වැඩිදුරටත් අවධාරණය කළේ ය.







