ගාල්ල මහ මෝදර මාතෘ රෝහලේ ඉපැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් ලෙස නම් කරමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කොට ඇත.
බන්ධනාගාර ආඥා පනතේ 2 වැනි වගන්තියෙන් අධිකරණ ඇමතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව, බන්ධනාකාර ආඥා පනතේ කාර්යයන් සඳහා මහ මෝදර මාතෘ රෝහලේ ඉපැරණි රෝහල් පද්ධතිය මෙලෙස බන්ධනාගාරයක් ලෙස නම් කරමින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මහ මෝදර මාතෘ රෝහලේ මෙම ගොඩනැගිලි දැනට වසර කිහිපයක සිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන අත්හැර දමා තිබූ ඒවා වෙයි.
ගාල්ල නගර සංවර්ධන සැලැස්ම යටතේ ගාල්ල තැපැල් කාර්යාලය සහ ගාල්ල පොලිසිය මහ මෝදර ප්‍රදේශයට රැගෙන යාමට ද ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මීට පෙර අනුමැතිය හිමිව තිබුණි. එමෙන්ම ගාල්ල නව නගර සංවර්ධන සැලැස්ම යටතේ ගාල්ල බන්ධනාගාරය ආශ්‍රිත භූමිය තුළ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ද යෝජනා වී ඇත.









