ඉන්දීය ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රයේ දශක ගණනාවක ඒකාධිකාරය බිඳ දමමින්, ඉන්දියාවේ පෞද්ගලික අංශය විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම මිලිටරි ප්‍රවාහන ගුවන් යානය වන “Made-in-India” C295 යානය ළඟදීම ගුජරාටයේ වඩෝදරා හි පිහිටි ටාටා පරිශ්‍රයෙන් නිල වශයෙන් එළිදැක්වීමට නියමිතව ඇත. මෙය ඉන්දියාවේ යුදමය ගුවන් යානා නිෂ්පාදන ඉතිහාසය මුළුමනින්ම උඩුයටිකුරු කරන සන්ධිස්ථානයකි.
දශක ගණනාවක් තිස්සේ ඉන්දියාවේ මිලිටරි ගුවන් යානා නිෂ්පාදනය කේන්ද්‍රගත වී තිබුණේ රජය සතු එකම දැවැන්තයෙකු වූ ඉන්දුස්ථාන් ඒරොනොටික්ස් ලිමිටඩ් (HAL) සමාගම වටා පමණි. එහෙත්, එයාර්බස් (Airbus) සහ ටාටා ඇඩ්වාන්ස්ඩ් සිස්ටම්ස් ලිමිටඩ් (TASL) සමාගම් ඒකාබද්ධව වඩෝදරා හි පිහිටි අවසන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයේදී සිදුකරන මෙම නිෂ්පාදනයත් සමඟ එම පැරණි සමීකරණය වෙනස් වී තිබේ. ඉන්දියානු පෞද්ගලික සමාගමක් විසින් පූර්ණ පරිමාණයේ මිලිටරි ගුවන් යානා නිෂ්පාදන පෙළක් ස්ථාපිත කර ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙයයි.
මෑතකදී මෙම යානය මණ්ඩපයෙන් (Hangar) පිටතට ඇදගෙන එන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර, එයින් හැඟවෙන්නේ නිල කාලසටහනට වඩා වේගයෙන් ව්‍යාපෘතිය ඉදිරියට ගොස් ඇති බවයි. විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ පළමු යානය 2026 සැප්තැම්බර් මාසයට පෙර එළිදැක්වීමට අපේක්ෂා කරන බවයි. දැනටමත් ගුවන් හමුදා නියෝජ්‍ය ප්‍රධානී, එයාර් මාර්ෂල් ඒ.කේ. භාරතී මෙම එකලස් කිරීමේ මධ්‍යස්ථානය වෙත ගොස් සිය නිරීක්ෂණ කටයුතු නිම කර ඇති අතර පළමු යානය සිය මංගල පියාසර වාරය සඳහා සූදානම් වෙමින් පවතී.

දැවැන්ත ගිවිසුම සහ දේශීය නිෂ්පාදන ධාරිතාව
2021 වසරේදී අත්සන් කරන ලද රුපියල් කෝටි 21,935 ක දැවැන්ත ගිවිසුම යටතේ ඉන්දීය ගුවන් හමුදාව (IAF) සඳහා C295 ගුවන් යානා 56 ක් මිලදී ගැනීමට නියමිතය. මෙය ගෝලීය වශයෙන් මෙම ගුවන් යානා මාදිලිය වෙනුවෙන් පවතින විශාලතම ඇණවුමයි. මෙයින් මුල් යානා 16 ස්පාඤ්ඤයේ සිට සෘජුවම පියාසර කරවා ඉන්දියාවට ගෙන්වා ගත් අතර, ඉතිරි ගුවන් යානා 40 දේශීයව නිෂ්පාදනය කෙරේ.
මෙහි විශේෂත්වය වන්නේ ගුවන් යානාවල ව්‍යුහාත්මක වැඩකටයුතු සහ අවසන් එකලස් කිරීම්වලින් 85% කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කෙරෙන්නේ ඉන්දියාව තුළ වීමයි. මෙයට කුඩා උපාංග සහ උප-එකලස් කිරීම් කොටස් 13,000 ක නිෂ්පාදනය ද ඇතුළත් වේ. මෙම ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහිම ඉන්දියානු සැපයුම්කරුවන් 37 දෙනෙකු සම්බන්ධ වී සිටින අතර, විශේෂිත නිෂ්පාදන ක්‍රියාවලීන් 21 ක් සඳහා ජාත්‍යන්තර සහතික පත්‍ර ද හිමිව තිබේ. මේ හරහා වඩෝදරා පරිශ්‍රයේ සෘජු රැකියා 3,000 ක් ඇතුළු සැපයුම් දාමය පුරා දහස් ගණනක වෘත්තීය රැකියා අවස්ථා බිහි වී ඇත.
ගුවන් හමුදාවේ බලය තෙගුණ කරන තාක්ෂණික පෙරළිය
මෙහෙයුම් අතින් බලන කල, C295 යනු ඉන්දීය ගුවන් හමුදාවට (IAF) ලැබුණු දක්ෂ ‘කාර්යශූරයෙකි’. මෙම නවීන, ද්විත්ව-ටර්බෝප්‍රොප් (twin-turboprop) උපායමාර්ගික ප්‍රවාහන යානය, දැනට භාවිතයේ පවතින සීමිත පහසුකම් සහිත පැරණි ‘Avro-748’ ගුවන් යානා බලඇණිය වෙනුවට ආදේශ කරනු ඇත.
පැති දොරවල් පමණක් ඇති පැරණි Avro-748 යානය මෙන් නොව, C295 යානය පිටුපසින් පිහිටි බෑවුම් දොරකින් (rear ramp) සමන්විතය. මෙමඟින් පැරෂුට් භටයින්ට යානයෙන් පිටතට පැනීමේ මෙහෙයුම් ඉතා පහසු කරවන අතර, කුඩා කාලතුවක්කු සහ අනෙකුත් සැහැල්ලු මිලිටරි වාහන ඉතා වේගයෙන් යානයට පැටවීමට මෙන්ම බෑමට ද අවස්ථාව සලසා දෙයි. මීටර් 320 ත් 670 ත් තරම් කෙටි වූ, නිසි ලෙස සකස් නොකළ තාවකාලික ගුවන් පථයන්ගෙන් පවා කෙටි දුරකින් ගුවන්ගත වීමේ සහ ගොඩබැස්වීමේ (STOL) සුවිශේෂී හැකියාව මෙහි ඇති සුවිශේෂීම ලක්ෂණයයි.
යානයට ටොන් 9.25 ත් 9.5 ත් දක්වා භාණ්ඩ ප්‍රමාණයක්, සෙබළුන් 70 දෙනෙකු හෝ පිටුපස දොර හරහා පැරෂුට් භටයින් 48 දෙනෙකු රැගෙන යා හැකිය. එමෙන්ම සෝදිසි මෙහෙයුම්, වෛද්‍යමය හදිසි ඉවත්කිරීම් (රෝගී ඇඳන් 24 ක් සමඟ) සහ මානුෂීය සහන සේවා කටයුතු සඳහා ද මෙය සහාය දක්වයි. නොට්ස් 260 ක (260 knots) පියාසර වේගයක්, කිලෝමීටර් 5,000 ක පියාසර පරාසයක් සහ පැය 11 ක් දක්වා අඛණ්ඩව ගුවනේ රැඳී සිටීමේ හැකියාව සහිත මෙම යානය, දුෂ්කර භූමිභාගයන් තුළ හමුදා කණ්ඩායම් වේගයෙන් යෙදවීමට මැනවින් ගැළපේ.
හිමාලයේ ආරක්ෂාව සහ C-17 දැවැන්තයන්ට දෙන සහයෝගය
ගෝලීය වශයෙන් රටවල් 36 කට වඩා වැඩි ප්‍රමාණයක දරුණුතම දේශගුණික තත්ත්වයන් යටතේ සිය විශ්වාසවන්තභාවය තහවුරු කර ඇති C295 යානය, ඉන්දියාවේ වඩාත්ම අභියෝගාත්මක හිමාලයානු උසස් ගොඩබෑමේ කලාපයන් (Advanced Landing Grounds – ALGs) වන අඩි 16,700 ක් උසින් පිහිටි දවුලත් බෙග් ඕල්ඩි (Daulat Beg Oldi), නියෝමා (Nyoma), ෆුක්චේ (Fukche) සහ චුෂුල් (Chushul) වැනි ප්‍රදේශ සඳහා කදිමට ගැළපේ.
ප්‍රමාණයෙන් බෙහෙවින් විශාල වූ, දිගු දුරක් පුරා අධික බරැති සහ විශාල ප්‍රමාණයේ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බෝයිං C-17 ග්ලෝබ්මාස්ටර් III (Boeing C-17 Globemaster III) යානයට සාපේක්ෂව C295 යානය සැලකිය යුතු ලෙස කුඩා මෙන්ම බරින් ද අඩුය. C-17 යානයට ටොන් 77.5 ක උපරිම බරක් ප්‍රවාහනය කළ හැකි අතර, එහි උපරිම ගුවන්ගත වීමේ බරෙන් දහයෙන් එකක් පමණක් හිමි C295 යානය වඩාත් වේගවත් හා නම්‍යශීලී වේ. එමඟින් විශාල ගුවන් යානාවලට මෙහෙයුම් සිදු කිරීමට අපහසු වන දුෂ්කර භූමිභාගයන්හි හිඩැස මැනවින් පුරවාලමින්, C-17 වැනි දැවැන්තයන්ට කදිම සහයෝගයක් ලබා දෙයි.
ස්වෛරී නිෂ්පාදන ශක්තිය සහ අනාගත අපනයන බලාපොරොත්තුව
C295 ව්‍යාපෘතිය මඟින් ඉන්දියාව වෙනත් රටවලින් සිදු කරන ආරක්ෂක ආනයන මත යැපීම විශාල වශයෙන් අවම කරනු ඇත. මෙහි ඇති වැදගත්ම කරුණ නම්, ගුවන් යානා කොටස් නිෂ්පාදනයේ සිට අවසන් එකලස් කිරීම, එන්ජින් සහ ගුවන් යානා ඉලෙක්ට්‍රොනික පද්ධති (avionics) සම්බන්ධ කිරීම, පරීක්ෂණ පැවැත්වීම මෙන්ම දිගුකාලීන නඩත්තු සහාය ලබා දීම දක්වා වූ සමස්ත ක්‍රියාවලියම ටාටා ඇඩ්වාන්ස්ඩ් සිස්ටම්ස් ලිමිටඩ් (TASL) සමාගම විසින්ම හැසිරවීමයි.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් 2022 දී මුල්ගල් තබා 2024 ඔක්තෝබර් මාසයේදී විවෘත කරන ලද මෙම කාර්මික සංකීර්ණය, ඉන්දියාවට අනාගතයේදී වෙනත් රටවලට පවා මිලිටරි ගුවන් යානා අපනයනය කිරීමටත්, ගෝලීය ගුවන් සැපයුම් දාමයේ ප්‍රධාන කොටස්කරුවෙකු වීමටත් අවශ්‍ය පදනම ශක්තිමත්ව සකසා දී ඇත. (india today ඇසුරෙනි) .







