ඉඳුනිල් කහටපිටිය –
දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධ කුප්‍රකට සිද්ධාලේප සිද්ධියේ දී දේශබන්දු සමග චෝදනා ලැබූ ප්‍රධාන වධකයාවන එවකට සහකාර පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස මිරිහාන පොලිසියේ සේවය කළ භාතිය ජයසිංහ මෙවර සහකාර පොලිස් අධිකාරී උසස්වීම් ලයිස්තුවේ පොරොත්තු ලේඛනයේ තබා තිබීම සම්බන්ධව පොලිස් දෙපාර්තමේන්තුව තුළ බරපතල විසංවාදයක් නිර්මාණය කර තිබේ.
කවුද මේ භාතිය ජයසිංහ
2010 වසරේ දී, හිටපු හමුදා සෙබළෙකු නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා වදහිංසාවලට ලක් කිරීම තුළින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සිව්දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැ යි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. එම තීන්දුව ලබා දෙන්නේ වර්ෂ 2023 දෙසැම්බර් 14 වැනිදා ය.
මෙසේ වරදකරුවන් කෙරුනේ අදාළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් එවක නුගේගොඩ ප්‍රදේශයේ භාරව සිටි පොලිස් අධිකාරීවරයා වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මිරිහාන පොලිසියේ හදිසි ඒකකයේ හිටපු ස්ථානාධිපති එවකට සහකාර පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ, පොලිස් නිලධාරී බණ්ඩාර සහ සිවිල් පුද්ගලයකු වන අජිත් වනසුන්දර යන අයය.
මේ නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ වරදකරුවෙක් වූ භාතිය ජයසිංහට සිය පෞද්ගලික මුදලින් මාස හයක කාලයක් තුළ රුපියල් ලක්ෂ පහක් පෙත්සම්කරුට වන්දි ගෙවිය යුතු බවට නියෝග කෙරිනි. එම නියෝගය ලබා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා විසිනි.
එමෙන්ම, දේශබන්දු තෙන්නකෝන් සහ භාතිය ජයසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසම සහ නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස ද නියෝගයේ සඳහන් විය.
මිල්ලව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. රංජිත් සුමංගල නමැති හිටපු හමුදා සෙබලෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
භාතිය ජයසිංහ ගේ වදයේ ස්වරූපය
2010 වසරේ දෙසැම්බර් මස 18 වනදා ත්‍රීරෝද රථයකින් පැමිණි අජිත් වනසුන්දර නමැති සිවිල් පුද්ගලයා සමග ආ මිරිහාන පොලිසියේ සේවය කළ බණ්ඩාර සහ භාතිය ජයසිංහ යන නිලධාරීන් දෙදෙනා ඔහු අත්අඩංගුවට ගෙන දඹර ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියකට රැගෙන ගිය බව, පෙත්සම්කරු කියා සිටියි.
එම සුසාන භූමිය තුළ දී භාතිය ජයසිංහ ඇතුළු වගඋත්තරකාර පොලිස් නිලධාරින් ඔහුට අමානුෂික ලෙස පහරදුන් බවත්, එසේ පහර දෙමින් ප්‍රදේශයේ සිදුවන මංකොල්ලකෑම් හා යුද හමුදාවේ සිටිය දී භාවිත කළ ගිනි අවිය පිළිබඳව ප්‍රශ්න කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.
ඉන් අනතුරුව මිරිස් කුඩු තැවරූ ප්ලාස්ටික් මලු දෙකක් ඔහුගේ හිසට බහා හුස්ම ගන්නා ලෙස වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ඔහුට බලකළ බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.
ඉන්පසු ඔහුගේ කටින් ලේ ගැලීමට පටන්ගත් බවත්, අවසානයේ දී භීතියට පත් ඔහු වගඋත්තරකාර පොලිස් නිලධාරීන් එල්ල කළ චෝදනාවලට වරද පිළිගත් බවත් ඔහු පැවසීය.
නඩුවේ දී ඉදිරිපත් වූ සියලු කරුණු පිරික්සීමේ දී වගඋත්තරකාර පොලිස් නිලධාරින් ඉදිරිපත් කරන කරුණු එකිනෙකට පරස්පර බවත්, ඒ අනුව ඒවා ප්‍රතික්ෂේප කරන බවත්, තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා ප්‍රකාශ කළේ ය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින මිරිහාන පොලිසියේ හදිසි ඒකකයේ හිටපු ස්ථානාධිපති භාතිය ජයසිංහ සහ අනෙක් නිලධාරියා පෙත්සම්කරු වධහිංසනයට ලක්කර තිබෙන ආකාරය මනාව තහවුරු වන බව විනිසුරුවරයා පැවසීය.
ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන කෲර වද හිංසාවට එරෙහි මූලික මිනිස් අයිතිය සෘජුවම උල්ලංඝනය කර තිබෙන බව ප්‍රමාණවත් සාක්ෂි වලින් ඔප්පු කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේය.
මේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අදාල ඉදිරි අධිකරණමය කටයුතු කිසිවක් සිදුනොවූ පසුබිමක භාතිය ජයසිංහ පොලිස් පරීක්ෂක ශ්‍රේණිවල නිලධාරීන් පොලිස් අධිකාරී ශ්‍රේණි දක්වා උසස් වීමේ පරීක්ෂණයට ඉදිරිපත් වූයේය. මෙම විභාගය පැවැත්වෙන්නේ 2023/11/18 සහ 19 දින දෙක තුළය.
විභාගය පැවැත්වෙන්නේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ බලය උපරිමයෙන් පවතින වකවානුවේය. එමෙන්ම මෙම විභාගය සම්බන්ධව ද චෝදනා රැසක් තිබිණි. “සුදු පුතා” නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පොලිස් ප්‍රධානිය තමන්ගේ ප්‍රේමණීය පොලිස් නිලධාරිනියන් කීප දෙනෙකුට මෙම විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් ලබා දුන් බවද පොලිසිය තුළ හා හෝවක් ගියේය.
සමත් වූවන්ට උසස්වීම් දීම
පොලිස් සේවයේ දැනට පවතින සහකාර පොලිස් අධිකාරී තනතුරු 40ක් වෙනුවෙන් ප්‍රතිඵල ප්‍රකාශ කෙරිනි. එවුන් 2025/03/25 සිට එම තනතුරේ පිහිටුවා තිබේ. විනය කටයුතු අවසන් වනතෙක් තනතුරු ලබා නොදෙන පදනම මත 05 දෙනෙකුගේ උසස්වීම් අත්හිටුවා තිබේ. මේ තාවකාලිකව උසස් වීම් අත්හිටුවා ඇති නිලධාරීන් අතර භාතිය ජයසිංහ ද වේ. දෙදහසකට වැඩි පිරිසක් පෙනී සිටි විභාගයේ භාතිය ජයසිංහ 26 වැනියා වී ඇත. ප්‍රශ්නය ඇත්තේ අත්හිටුවීම නොවේ.
දැනට සේවයේ සිටින, මෙම විභාගයෙන් 38 වැනියා ලෙස සහ 39 වැනියා ලෙස සමත් වූ පොලිස් පරීක්ෂක වරුන් දෙදෙනෙකු සම්බන්ධව නැගෙන විනය කටයුතු හේතුවෙන් ඔවුන් සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා නිරදේශ වන්නේ නැත.
එසේ තිබිය දීත් ව්‍යවස්ථාපිත මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය කරමින් පුද්ගලයින් කෲර වද හිංසාවට ලක්කිරීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ වරදකරුවෙක් වී තවදුරටත් ඉදිරි අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින පොලිස් නිලධාරියෙකුට, අධිකරණය පොලිස් කොමිසමට නියෝග කළ විනය පරීක්ෂණය පවා මෙතෙක් දියත් නොකර ඔහුව පොරොත්තු ලේඛනයේ තබා සිටීමය.
පොලිසිය කැළඹුන මේ සිද්ධිය යළිත් වරක් සමස්ථ ක්‍රියාවලියම ප්‍රශ්න කරන්නේය. මක්නිසාද යත් පොලිසිය තුළ පොලිසියට පිළිගත හැකි ක්‍රියාවලියක පැවැත්ම තහවුරු කිරීම රජයක වගකීම නිසාය.







