දිනසේන රතුගමගේ –
කිළිනොච්චිය තිරුවයිආරු ප්‍රදේශයේ විදේශිකයෙකුට අයත් නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට නිවසේ සිටි පිරිස ආයුධ වලින් කපා දැමීම නිසා පස් දෙනෙකු තුවාල ලබා ඊයේ (27) දා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ලන්ඩනයේ පදිංචිව සිටින දෙමළ ජාතිකයෙකුගේ නිවසකට වන අතර මීට දින කීපයකට ඉහතදී එම නිවසට ලන්ඩනයේ විදේශිකයින් කීප දෙනෙකුද පැමිණ සිට තිබේ.
විදේශිකයෙකුද මෙම ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති අතර ඔහු බෙල්ජියමේ සිට නිවාඩුවක් ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටියදී ලන්ඩනයේ පිරිස සමග ඇති වූ හිතවත්කම් මත කිළිනොච්චියට පැමිණි අයෙකි.
මෙම ප්‍රහාරය එල්ල වීම සදහා ප්‍රධාන හේතු තුනක් ඇති බව පැවසූ කිළිනොච්චිය පොලීසියේ නිලධාරීන් ඉන් එකක් වන්නේ කිළිනොච්චියේ ජනතාව විදේශ රටවලට යවන බව කියා විශාල මුදල් වංචාවක් මෙම නිවසේ සිටි පිරිසක් විසින් සිදු කොට ඇති අතර ඊට උරණ වූ පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි යන්න පලමු කාරණයයි.
දෙවනි කාරණය වන්නේ ඉතා විශාල මුදලක් මෙම නිවසේ සිටි පිරිස අතර ගැවසෙන බවට ලැබී ඇති ආරංචිය මත එම මුදල් කොල්ල කෑමේ රමුණින් එම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවය.
මහා පරිමාණයෙන් කිළිනොච්චියේ සිදු වන වැලි ජාවාරමක් මත ඇති වූ ප්‍රශ්නයක් මෙම ප්‍රහාරයට හේතුව විය හැකි බවට තුන් වන මතයක්ද පවතී.
මෙම ප්‍රහාරය සදහා විසි දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණි බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර පොලීසිය ප්‍රදේශයේ සී.සී. ටීවී කැමරා පද්ධති පරීක්ෂා කිරීම පිණිස අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත් අඩංගුවට ගැනීමට කිළිනොච්චියේ ආරක්ෂක අංශ වලට නොහැකි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.