තිස්ස ගුණතිලක –
-
පලාත්සභාවලට පොලිස් ඉඩම් බලතල නෑ… රණවිරුවන් දණ්ඩනයට ලක් කිරීමේ අරමුණු සහිතව කිසිම නව නීතියක් ගෙනෙන්නේ නෑ… ජාතික උරුමය සහ පුරාවස්තු ව්‍යසනයට ලක්වන කිසිම තීරණයක් ජාතික ජන බලවේගයේ රජයක් යටතේ ගන්නේ නෑ… විජිත හේරත් සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී ජාතික ජන බලවේගයේ ස්ථාවරය කියයි…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි ව්‍යවස්ථාව ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ කිසිදු ආකාරයක වෙනස් කිරීමක් සිදු නොකරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය හමුවේ ජාතික ජන බලවේගය ලෙස සහතික වුනේය.
ඔහු අවධාරණය කර ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය යන්න කිසිදු ආකාරයකින් වෙනස් නොකර බවය.
එමෙන්ම රටේ එකීය භාවය භෞමික අඛණ්ඩතාවය, රටේ ආරක්ෂාව පිළිබඳව විශාල වශයෙන් කැපකිරීම් කළ දේශපාලන ව්‍යාපාරයක් ලෙස එදත් අදත් හෙටත් තම ව්‍යාපාරයේ ස්ථාවරය නොවෙනස්ව පවතින බව ඔහු ප්‍රකාශ කළේය. ඒකීය රාජ්‍ය ආරක්ෂා කිරීම පූර්ණ වගකීමක් වනවා සේම ජනතාවගේ පරමාධිපත්‍ය බලය විශේෂයෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකම්, පාලන බලතල, ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම පරම වගකීමක් ලෙස තම සංවිධානය සලකන බවය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙනු ලැබුවේම රටේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලෙස බව පෙන්වා දුන් විජිත හේරත් එදත් තම දේශපාලන දැක්ම වූයේ පළාත් සභා ක්‍රමය ජාතික ප්‍රශ්නය විසඳීමට සුදුසු ක්‍රමයක් නොවන්නා සේම පළාත් සංවර්ධනයට ද එය උචිත ක්‍රමයක් නොවුන බව යැයි සිහි කළේය. එය දැන් ප්‍රායෝගිකවම ඔප්පු වී ඇති ආකාරය ඔහු පෙන්වා දුන්නේය.
නමුත් අදත් නීතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින 13 වැනි සංශෝධනය උඩින් ගොස් පොලිස් හෝ ඉඩම් බලතල ලබාදීම කිසිම සූදානමක් ජාතික ජන බලවේගයේ වැඩ පිළිවෙළේ නැති බව ද දැනට ක්‍රියාත්මකවන පළාත් සභා බලතල සීමාවෙන් ඔබ්බට කිසිසේත්ම නොයන බවට ද ඔහු සහතික වුනේය.
එමෙන්ම විශේෂයෙන්ම පොලිස් බලය පලාත්සභාවලට ලබා නොදෙන බව අවධාරණයෙන් දක්වන බව ද විජිත හේරත් පැවසුවේය.
තමන් ජාතික උර්මයන් සහ සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යවරයෙක් බව පැවසූ විජිත හේරත් ජාතික උරුමය යන වචනය මේ රටේ අමාත්‍යාංශයට හා අමාත්‍ය මණ්ඩලයට හඳුන්වා දුන්නේ තම ව්‍යාපාරය බව සිහි කළේය. ජාතික උරුමයන් ආරක්ෂා කිරීම මේ රටේ පාලකයින්ගේ වගකීමක් ලෙස සලකා කටයුතු කළ සංකල්පය මෑත දේශපාලනයට හඳුන්වා දුන් තමන්ගේ ව්‍යාපාරය රටේ පුරාවස්තු හානි කිරීම සඳහා කිසිකෙනෙකුට ඉඩ ලබා නොදෙන බවත් ඒවා දිවි හිමියෙන් ආරක්ෂා කිරීම ජාතික ජනබලවේගය වගකීමක් කොට සලකන බවත් පෙන්වා දුන්නේය.
රණවිරුවන් ඉලක්ක කරගෙන නීති අණ පනත් අලුතින් හඳුන්වා දීමක් සිදු නොකරන බවත් ඔහු සහතික වුනේය.
අවසාන වශයෙන් ඔහු මෙසේ පැවසුවේය.
‘මම මේ රටේ හිටපු සංස්කෘතික සහ ජාතික උරුමයන් පිළිබඳ ඇමතිවරයෙක්. ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳව මේ රටේ බහුතර ජනතාව බෞද්ධ බව, මේ රටේ ප්‍රධාන සංස්කෘතික ධාරාව නියෝජනයකරන්නේ බෞද්ධ සංස්කෘතියෙන් බව පිළිගන්නවා. ඒ නිසා පෙරහර නතර කරන්න හෝ පෙරහර ක්‍රියාවලිය වෙනස් කරන්න මැදිහත් වෙන්නේ නෑ. පෙරහර අර්ථාන්විතව විචිත්‍රවත්ව පවත්වාගෙන යන්න ආධාර අනුබල දීමක් තමයි අප සිදු කරන්නේ.







