ශ්‍රි ලංකාවට ගෙන්වන ලද ෆයිසර් එන්නත් තොගයෙන් විශාල ප්‍රමාණයක් යුධ හමුදාවට ලබා දීමට පියවර ගැනීම හේතුවෙන් මේ වනවිට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල බරපතල විරෝධයක් එල්ල වී තිබේ.
එන්නත්කරණ වැඩසටහන කළමනාකරණය සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පත් කරන ලෙසත් මෙලෙස යුධ හමුදාව වෙත ලබා දෙන ලද එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීමට කටයුතු කරන ලෙසත් ඔවුන් ඉල්ලීමක් කර ඇති අතර මෙම ඉල්ලීම ඉටු නොවුණහොත් හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීම සම්බන්ධයෙන්ද මේ වනවිට සලකා බැලෙමින් පවතින බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කළේය.
අද අලුයම ද ඇමෙරිකාවෙන් ෆයිසර් එන්නත් 150, 000ක තොගයක් ශ්‍රි ලංකාවට පැමිණි අතර මෙම එන්නත් තොගයද යුධ හමුදාව වෙත ලබා දී ඇති බවට වෛද්‍යවරු චෝදනා කරති. වෛද්‍යවරුන් මෙම එන්නත් සොරකම් කරන නිසාවෙන් ඒවා යුධ හමුදාව වෙත ලබා ගන්නා බවට එක් ප්‍රධානියකු චෝදනා කර ඇති බවට ද ඔවුන් ප්‍රකාශ කරන අතර මේ වනවිට වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ලබා දිය හැකි එකම එන්නත මෙය වන බැවින් ෆයිසර් එන්නත වගකීමෙන් යුතුව රට තුළ කළමනාකරණය කළ යුතු බව ට ඔවුහු පෙන්වා දෙති. එසේම මේ වනවිට ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වේගයෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත්වීමත් ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන් ද ආසාදනය වන තත්ත්වයක් තුළ මෙම දරුවන් ට එන්නත් ලබා දීමේදී ප්රමුඛත්වයක් දිය යුතු බවටද සෞඛ්‍ය අංශ වසංගත රෝග විද්‍යා ඒකකයෙන් ඉල්ලා තිබුණි.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද දිනයේ මේ ද සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ පෙලේ නිලධාරීන් සාකච්ඡාවක් පැවත්වීමට නියමිත අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයන්ද අද වෙත රැස්වීමක් පැවැත්වීමට නියමිත බවය.