ළමා අපචාරක හමුදා අපරාධකරු බේරාගන්න පොලිසියේ හා හමුදාවේ ලොක්කන් දෙදෙනෙකුගෙන් බලපෑම්!

“බාල වයස්කාර ලිංගික අපහරණය“ යන චෝදනාව මත මහනුවර පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ආබාධිත ලුතිනන් කර්නල් වරයා එම ළමා අපචාරය කරන අයුරු දක්වන තීරක සාධකය වූ වීඩියෝ පටය අධිකරණය වෙත ඉදිරිපත් නොකරන්නැයි පොලිසියේ කවුරුත් දන්නා එක්තරා ප්‍රධාන නිලධාරියෙක් සිද්ධිය විමර්ශනය කරන පොලිස් කණ්ඩායමට බලපෑම් කර ඇතැයි වාර්තා වේ.

මෙම පොලිස් නිලධාරියා උක්ත මැදිහත්වීම සිදුකර ඇත්තේ හමුදාවේ ඉහළම නිලධාරියෙකු විසින් කළ ඉල්ලීමට බව ද එම ආරංචි මාර්ග හෙළි කරයි.

අදාල ලුතිනන් කනල්වරයා සුදුහුම්පොළ ප්‍රදේශයේ පිහිටි නිවසක විසූ මව සමග අනියම් සබඳතාවයක් පවත්වන අතර   දියණිය ලිංගික අපහරණයට ලක් කරන බවට   ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පරිශ්‍රයෙහි සේවයේ නියුතුව සිට ඇති මෙම පුද්ගලයා කොළඹ යුධ හමුදා මූලස්ථානයට අනුයුක්තව සිට ඇත.

වයස අවුරුදු පනස් හතරක් වන මොහු නිතර මහනුවර ප්‍රදේශයට පැමිණෙන අතර සුදුහුම්පොල නිවසේ රැඳෙමින් වයස අවුරුදු තිස් හතක දරුවාගේ මව සමග ජීවත් වී ඇත.

ඔහු නුවර පැමිණි අවස්ථාවල දී මෙම මව සහ දියණිය සමග මහනුවර ප්‍රධාන සුපිරි වෙළෙඳසලකට යන බවත් මව සුපිරි වෙළෙඳසලට යවා දියණිය රථයේ නවතාගෙන රියදුරු පිටත් කර යැවීමෙන් පසු රථ ගාලේ දී මෙම ලිංගික අපහරණය සිදුකර ඇති බවත් පොලිසිය විසින් තහවුරු කරගෙන තිබේ.

එම අපහරණයවන ආකාරයේ වීඩියෝ පටය ද පොලිසියට ලැබී තිබිණි. ඒ සමගම තමන්ව ලිංගිකව පීඩාවට පත් කළ බව කියමින් කාන්තාවන් කීපදෙනෙක්ම මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට  පැමිණිලි ගොනු කළේය.

එවන් පරිසරයක දී මේ ආබාධිත හමුදා නිලධාරියා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කළේය. නඩු කටයුත්ත දිගටම පවත්වාගෙන යමින් ඇත.

එම අපරාධය නීතිය ඉදිරියේ තහවුරු කරන ප්‍රධානම හා තීරක සාක්ෂිය වූ මෙම වීඩියෝ පටය අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් බලපෑම් එල්ල වන්නේ මේ පසුබිමේ දී ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙවැනි අනීතික බලපෑම් හමුවේ දරුවෙකුට සිදුවූ අපරාධයක් හෙළි කරගෙන එම අපරාධකරුවාට දඬුවම් ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගතවීම ජාතියේ ඛේදවාචකයක් බව පොලිස් විමර්ශකයෝ ලංකාසරට කීහ.

Exit mobile version