හොර ස්ටිකර් මුද්‍රණය කළ මත් වතුර බෝතල් යාපනය, නුවරඑළිය, ගාල්ල, රත්නපුරය, දිස්ත්‍රික්කවල මත්පැන් අලෙවිසැල් සියයකට අධික ප්‍රමාණයකින් හසුවී ඇති බවත් ඒ සෑම බෝතලයක්ම මේ වනවිට අර්ජුන් ඇලෝසියස්ගේ වත්කමක් ලෙස පවතින මෙන්ඩිස් කොම්පැණියේ මත්පැන්වලින් හමුවන බවත් බුද්ධික පතිරණ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
මෙම හොර ස්ටිකර් බෙදා හරින්නේ දූෂිත සුරාබදු නිලධාරියෙක් වූ අල්පොන්සො රසල් ලැම්බට් නැමති පුද්ගලයාගේ කොච්චිකඩේ නිවසේ සිට බවත් මන්ත්‍රිවරයා අද හෙළි දරව් කළේය.
ඔහු මෙසේ ද කීවේය.
“මේක හොර සල්ලි අච්චු ගැහුවා වගේ වැඩක්. සමත කරන්න බෑ. මේ ස්ටිකර් බෙදා හැරලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොච්චිකඩේ දකුණු පල්ලම්සේන, ඩොලරෝසා මාවතේ, 52/15 කියන නිවසින්.”
“මේ නිවස අයිති කාටද. මේ නිවස ගැන තොරතුරු ලැබිලා සුමිත් කියන සහකාර සුරාබදු කොමසාරිස්වරයා යනකොට ඔහුට දුරකථන ඇමතුමක් දුන්නා ඔහුව හරවලා ගෙන්වා ගන්න. ගෙන්වා ගන්නේ අතිරේක සුරා බදු කොමසාරිස් ජනරාල් ( ආදායම් ) කපිල කුමාරසිංහ. “
“කපිල කුමාරසිංහ එක්ක 2004 දි අල්ලස් දූෂණ කොමිසමේ නඩුවක චෝදනා ලබනවා අල්පොන්සො රසල් ලැම්බට් කියන නිලධාරියා. අල්පොන්සො රසල් ලැම්බට් කියන නිලධාරියා අදත් සුරාබදු අධිකාරීවරයෙක් ලෙස සේවය කරනවා.”
“ඔහුගේ නිවසේ ලිපිනය තමයි මම අර කලින් කියූ ලිපිනය. ඔන්න පෙන්නුව අවස්ථා සම්බන්ධය. “
“මේ හොර ස්ටිකර් එක අලවපු ඔක්කොම බෝතල් අහුවෙන්නේ මෙන්ඩිස් කොම්පැණියෙන්. මෙන්ඩිස් කොම්පැණියේ බෝතල් සහ මේ අතර තියන සම්බන්ධය මොකක්ද එක පැත්තකින්. එයත් සොයන්න…”
මන්ත්‍රීවරයා කීවේය.