හොර පාරෙන් රට ගිය ලාංකිකයන් එක්ලක්ෂ දසදහසක් අවදානමක

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ හෙළිකරයි

දේශීය හා විදේශීය ශ්‍රමික ලේඛනවලට අයත් නොවන අක්‍රමවත් ලෙස විදේශ රැකියාවලට පිවිස සිටින 110,000කට ආසන්න පිරිසක් ලෝකයේ විවිධ රටවල සිටින බවට ගණන් බලා ඇති බවත් ඔවුන්ට ‍වෛද්‍ය පහසුකම් ඇතුළු සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබාගැනීමට ඒ ඒ රටවලදී සුදුසුකම් නොලබන අතර හඳුනාගත හොත් පිටුවහල් කිරීමේ අවදානමක්  පවතින බවත් විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාථ ආර්යසිංහ  පෙන්වා දෙයි. කුවේටයේ පමණක් මෙවැනි අවිධිමත් ශ්‍රි ලාංකික සංක්‍රමණිකයින් 18,000ක් සිටින බවට එරට බලධාරීන්  ශ්‍රි ලංකා බලධාරීන් දැනුවත් කොට ඇතැයි ද ඔහු පවසයි.

විදේශ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ශ්‍රි ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 33 වැනි වාර්ෂික සමුළුව වෙනුවෙන් පැවති  අන්තර්ජාල සමුළුවකදී අදහස් දක්වමිනි. ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදය උදෙසා විදේශ රැකියා නියුක්තියේ කාර්යභාරය; අභියෝග සහ ඉඩප්‍රස්ථා මැයෙන් තම දේශනය කළ ආචාර්ය රවිනාථ ආර්යසිංහ පවසන්නේ ඉදිරියේදී විදේශ රැකියා නියුක්තිය සඳහා අපට ඇති වෙළෙඳපොල කුඩා විය හැකි බවය. මෙම තත්ත්වයට වඩාත් සුහුරු ලෙස මුහුණ දීම අත්‍යවශ්‍ය කරුණක් බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

දීර්ඝ දේශනයක් කළ විදේශ ලේකම්වරයාට අනුව  නීත්‍යානුකූලව රැකියා සඳහා විදේශගත වූවන් සඳහා වුවද, කොවිඩ් -19 වසංගතයේ  ප්‍රතිඵලයක් ලෙස රැකියා වෙළඳපොල හැකිලීම – විරැකියාව වැඩිවීම, කොන්ත්‍රාත්තු අහිමිවීම, රැකියා බලපත්‍ර දීර්ඝ නොකිරීම සහ තාවකාලිකව ස්වයං සේවයේ නියැලීම නතර කිරීමට සිදු වී ඇත. ඒ හේතුවෙන්  ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශාල වශයෙන්  අසරණභාවයට පත්වී ඇත. උදාහරණයක් ලෙස සෞදි අරාබියේ ශ්‍රී ලාංකිකයන් 130,000 ක් සිටින බවට ගණන් බලා ඇති අතර ලැබී අති තොරතුරු අනුව , ගෘහ සේවිකාවන්, ගෘහ රියදුරන්, ගෙවතු වවන්නන්, ගෘහ පාලිකාවන් (ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගෙන් දළ වශයෙන් 35% ක්) ඇතුළු ගෘහස්ථ අංශයේ සේවය කරන අයගේ රැකියා  සාපේක්ෂ වශයෙන් වඩා ආරක්ෂිත බවට සාක්ෂි තිබේ.


කොවිඩ් -19 වසංගතය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ප්‍රධාන අංශය වන්නේ,  වේටර්වරුන්, සුලු සූපවේදීන්, කැබ් රියදුරන් යනාදීන් ඇතුළත් වන සේවා අංශයේ කාර්යමණ්ඩලවල බොහෝමයක් ඇතුළත් වන අර්ධ නිපුණතා අංශයයි. ගෘහස්ථ අංශයේ රැකියාවලින් අහිමි වී ඇත්තේ 9% ක් පමණක් වන අතර රැකියා අහිමිවීම් වලින් 72% ක් ‘අර්ධ නිපුණතා’ අංශයෙන් වාර්තා වී තිබේ.

 “මැදපෙරදිග ඇතුළුව ශ්‍රමය ලබාගන්නා ප්‍රධාන රටවල ආර්ථිකයන්ගේ හැකිලීම හේතුවෙන් මේ වසරේ සංක්‍රමණික සේවක සංඛ්‍යාවේ බරපතල අඩුවීමකට තුඩුදිය හැකියි. ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා සාමාන්‍යෙයන් මාසයකට 17000ක් පමණ පිටත් වුණා. මේ වනවිට එය සම්පූර්ණයෙන්ම නතර වෙලා. මාර්තු මැද සිට මැයි අවසානය දක්වා ශ්‍රී ලාංකිකයින් සඳහා අහිමි වූ විදේශ රැකියා අවස්ථා ප්‍රමාණය 37,500 ක් පමණ වන බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා.“

“මෙරටින් ගියවිදේශ ගත සේවයට ගිය අය අතරින් නීති විරෝධීව ගිය අය කොවිඩ් 19 වසංගතය හමුවේ විශාල අභියෝයකට මුහුණ දුන්නා. එයට හේතුව සියලුම සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා ගැනීමට ඔවුන් නිසිලෙස ලියාපදිංචි වී විදෙස්ගත වීම අත්‍යවශ්‍ය වීම නිසයි. මේ වනවිට ලක්ෂ 15ක් පමණ ශ්‍රි ලාංකිකයන් විදෙස් ගත සේවයේ කටයුතු කරන බවට ගණන් බලා ඇතත් ඔවුන් දිගින් දිගටම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය යාවත්කාලීන කරගෙන නොමැති බව පෙනෙනවා. මෙවැනි තත්ත්ව හේතුවෙන් යම් සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා ලැනීමේ දුෂ්කරතාවලට අප මුහුණ දුන්නා. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සාමාන්‍යෙයන් එවැනි ලියාපදිංචි නොවන අය මෙම සමාජ ආරක්ෂණවලට අයත් නොවූවද කොවිඩ් 19 වසංගතය හමුවේ ඒ පිළිබඳව නොසලකා කටයුතු කිරීමට විදේශ අමාත්‍යංශය සහ දූත මණ්ඩල ක්‍රියා කළ බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

Exit mobile version