2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් සඳහා රජයේ මුදල් අවභාවිත කිරීමට ආධාර අනුබල දුන් බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.
ඒ අනුව, රුපියල් මිලියන 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියම කළේය.
විත්ති පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස කළ ඇප ඉල්ලීමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් දැඩි විරෝධය පළ කර තිබුණි.
කෙසේ වෙතත්, දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.







