-
එක රැයක් පහන් කිරීම සදහා හිටපු ජනපතිට, ජනපති බිරියට සහ පුද්ගලික ලේකම්වරියට එක් කෝටි හැට දෙලක්ෂයක් රජයේ මුදල් වියදම් කිරීම ගැන නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කී කතාව…
දීර්ඝ විමර්ශනයකින් අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත් අඩංගුවට ගන්නේ සිය පුද්ගලික සංචාරයකදී එක් රැයක් පහන් කිරීම වෙනුවෙන් ඔහුටත් ඔහුගේ බිරිය වූ මෛත්‍රී වික්‍රමසිංහටත්, පෞද්ගලික ලේකම්වරිය වු සැන්ඩ්‍රා පෙරේරාටත් පමණක් එක් කෝටි හැට අට ලක්ෂ හැත්තෑ දහස් පන්සිය හැත්තෑ තුනයි ශත අසූ තුනක රාජ්‍ය මුදලක් වියදම් කිරීම සම්බන්ධව බවත් එම මුදල ජනාධිපති වැය ශීර්ෂයෙන් වෙන් කර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත යවා තිබුනු බවත් අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී ශ්‍රී ලංකා පොලිසියේ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ පැහැදිලි කළේය.
මෙම මුදලට අදාල ස්ටර්ලින් පවුම් හතලිස් දාස් හාරසිය හතලිස් පහක ( ලංකාවේ මුදලින් රුපියල් එක් කෝටි හැට දෙලක්ෂ හැත්තෑ දාස් පන්සිය හැත්තෑ තුනයි ශත අසූ තුනක මුදලක්) ඇස්තමේන්තුවක් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් එවා තිබුණේ ප්‍රවාහන, නවාතැන්, ආහාර වාහන කුලී, අමුත්තන්ගේ පර්යන්ත වෙන් කිරීම් සහ අනෙකුත් වියදම් වෙනුවෙන් බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේය.
එම මුදලට ගුවන් ටිකට් පත් ඇතුළත්ව නොතිබුණ බවත් ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයාගේ සහ ආරක්ෂකයින්ගේ වියදම් නාවික හමුදාවෙන් සහ පොලිසියෙන් දරා ඇති බවත් එම මුදල රුපියල් ලක්ෂ 32කට වැඩි බවත් එම මුදල් ප්‍රමාණය ද මෙම ඇස්තමේන්තුගත මුදලට ඇතුළත් නොවන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.
විමර්ශනවලින් ආනාවරණය වූ කරුණු අනුව කිසිදු රාජ්‍ය තාන්ත්‍රික හමුවීමක් හෝ වැඩසටහනකට ජනාධිපතිවරයා මේ ගමනේ දී සහභාගී වී තිබුණේ නැති බව ද ඔහු අවධාරණයෙන් අනාවරණය කළේය.
නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ හිටපු ජනාධිපතිවරයාගේ අත් අඩංගුවට ගැනිම සහ එහි විමර්ශන සම්බන්ධව පැහැදිලි කිරීමක් කරමින් වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
විමර්ශනය සිදුකළේ ඇයි?
මේ විමර්ශනය සිදුවෙමින් පවතින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ගෙන් ලබා ගත්තු සීමිත තොරතුරු ප්‍රමාණයක් පමණක් ඉදිරිපත් කරනවා. මෙහි නඩු කටයුත්තක් සහ විමර්ශනයක් පැවැත්වෙන බැවින් මේකට අදාලව ඉදිරිපත් කළ හැක්කේ සීමිත කරුණු ප්‍රමාණයක් පමණයි.
මෙතනදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 10 දෙනෙකුගේ කණ්ඩායමක් පුද්ගලික සංචාරයක් සඳහා එක්සත් රාජධානියට යෑම සම්බන්ධව. මේ සංචාරය සිදුවෙලා තිබුණේ 2022/09/22 සහ 23 දවස් දෙකේ.
මේ සම්බන්ධයෙන් 2025/05/23 වැනි දින ජනාධිපති ලේකම් තුමාගෙන් පොලිස්පති තුමාට විමර්ශනයක් සිදුකිරීම සම්බන්ධව ඉල්ලීමක් ඉදිරිපත් වෙනවා. ඒ ඉල්ලීම ඉදිරිපත් වෙන්නට පාදක වෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දූෂණ විරෝධී සහ විශේෂ විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිල්ලක් අනුව එහි අධ්යක්ෂවරයා විසින් සිදුකළ අභ්‍යන්තර විමර්ශනයකින් ලැබුණු තොරතුරු ප්‍රමාණයක් සමග තමයි මෙම ඉල්ලීම නිකුත් කරලා තිබ්බේ.
සංචාරයේ ස්වරූපය
ඒ අනුව පොලිස්පති තුමා විසින් විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනවා. එතැනදි මෙම සිදුවීම වන්නේ 2022/09/22 හා 23 දින. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එතුමාගේ මැතිණිය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ එක්සත් රාජධානියේ වොල්වර්හැම්ටන් කියන විශ්වවිද්‍යාලයට ගිහින් තිබ්බා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමේ අවස්ථාවට.
මේ සඳහා සහභාගී වෙලා තිබ්බා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එම මැතිනිය. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පුද්ගලික ලේකම් විදිහට කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය. ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සන්ධාන නිලධාරී සහ තවත් සන්ධාන නිලධාරියෙක්. ඒ වගේම හිටපු ජනාධිපතිවරයාගේ වෛද්‍ය නිලධාරියා සහ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් හතර දෙනෙක් මේකට සම්බන්ධ වෙලා තිබුණා.
විශේෂයෙන්ම මෙම සංචාරයට පෙර හිටපු ජනාධිපති තුමාට තව සංචාර දෙකක් යෙදිලා තිබ්බා. එම සංචාර 2023/09/13 ඉඳලා 24 දක්වා මෙම සංචාර තුනට එතුමා සහභාගී වෙලා තිබුණෙ. මෙහිදී 2023/09/13 ඉඳලා 9/16 වෙනකම් කියුබාවේ හවානා නුවර ජී 77 සමුළුවට එතුමා සම්බන්ධ වෙලා තිබුනා ආරාධනයක් අනුව. 9/17 සිට 21 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට එතුමා සම්බන්ධ වෙලා තිබුණා. ඒ එන අතරතුර තමයි එතුමා මේ සංචාරය සඳහා සම්බන්ධ වෙලා තිබුණෙ.
විමර්ශන ආරම්භය
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම විසින් සිදුකරන ලද විමර්ශන ආරම්භ කර තිබුණේ 2025/5/23න් පස්සේ. එතනින් පස්සේ විශාල ලේඛන සංඛ්‍යාවක් සොයා ගත්තා. විශාල පිරිසකගෙන් සාක්ෂි සටහනක් සිදුකර තිබුණා.
ඒ අනුව මේ සංචාරයට අදාලව ජනාධිපති ලේකම් කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලය අතර ලිපි හුවමාරුවක් සිදුවුනා. මේ ලිපි හුවමාරුවේ මුල් අවස්ථාවල හැම එකකම සඳහන් වෙලා තිබ්බේ මේක පුද්ගලික සංචාරයක් කියන එක.
මේ සංචාරය දින දෙකක් රැඳලා ඉන්නවා. මේ සංචාරය තුළ වැඩසටහන් විස්තරයක් තියනවා. විමර්ශන නිලධාරීන්ගෙ විමර්ශන විස්තරවලට අනුව ඒ වැඩසටහන් විස්තරයේ කිසිම අවස්ථාවක රාජ්‍ය තාන්ත්‍රික විස්තරයක් සටහන් වෙලා නෑ.
හිටපු ජනාධිපතිවරයාගේ මේ දින දෙක සදහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දල ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා මේ රටට ස්ටර්ලින් පවුම් හතලිස් දාස් හාරසිය හතලිස් පහක මුදලක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් එක් කෝටි හැට දෙලක්ෂ හැත්තෑ දාස් පන්සිය හැත්තෑ තුනයි ශත අසූ තුනක මුදලක්.
ඒ දල ඇස්තමේන්තුව තුළ ආවරණය වෙලා තිබ්බේ ප්‍රවාහන, නවාතැන්, ආහාර, වාහන කුලී, ඊට අමතරව අමුත්තන්ගේ පර්යන්ත වෙන් කිරීම් සහ අනෙකුත් වියදම් කියලා.
ඊට අමතරව මෙතැනදි විමර්ශනවලින් ආනාවරණය වූ කරුණු අනුව කිසිදු රාජ්‍ය තාන්ත්‍රික හමුවීමක් මේ වැඩසටහන් විස්තර ඇතුළෙ නෑ. ඊට අමතරව මේ අදාල මුදල ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයෙන් එක් කෝටි හැට දෙලක්ෂ හැත්තෑ දහස් පන්සිය හැත්තෑ දෙකයි ශත අසූ තුනක මුදල විදේශ අමාත්‍යාංශයට බැර කිරීමක් සිද්ධ කරනවා මේ සංචාරය සඳහා.
මීට අමතරව මේ මුදල සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තිබ්බේ හිටපු ජනාධිපතිතුමාගේ සහ එම මැතිණියගේත් පුද්ගලික ලේකම්වරියගේත් අදාල වියදම් සඳහා පමණයි.
ඊට අමතරව වෛද්‍යවරයා නාවික හමුදාවේ. ආරක්ෂකයින් පොලිසියේ. ඔවුන්ගේ වියදම් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන වාර්තාව අනුව ලක්ෂ 32කට වැඩි මුදලක් ඒ සඳහා වියදම් වෙලා තිබුනා කියලා වාර්තා කරලා තියනවා.
රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නොවෙයි
මෙතනදි මේ හිටපු ජනාධිපතිතුමාගේ මෙම සංචාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට අනුව කිසිදු රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් නොවන බවයි සඳහන් වෙලා තිබ්බේ. මම සංචාරය සඳහා කිසිම රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් තිබිලා නෑ. සාමාන්‍යයෙන් සංචාරයක් නම් ඒ අදාල රටින් පිළිගැනීමක් සිද්ධ කරනවා. මෙම සංචාරය සඳහා එවැනි පිළිගැනීමක් කර නෑ. අදාල රටින් ආරක්ෂකයො දෙනවා. එවැනි ආරක්ෂකයො ලබා දීමක් නවාතැන් ලබා දීමක් වැනි කිසිම දෙයක් මේ සංචාරය තුළ සිද්ධ වෙන්නේ නැති බවයි විමර්ශනවලදි අනාවරණය වෙලා තියෙන්නේ.
ඊට අමතරව මෙම මුදල පවුම් හතලිස් දහස් හාරසිය හතලිස් පහක පමණවන මෙම මුදල ඇතුළෙ ගුවන් ටිකට්පත් අන්තර්ගත වෙලා නැ. රාජ්‍ය තාන්ත්‍රික ගමණක් යන අතරතුර වෙච්චි සංචාරයක් නිසා මේ ගුවන්ටිකට්පත් වලට යන මුදල අන්තර්ගත වෙලා නෑ.
මේ වියදම දරලා තියෙන්නේ හිටපු ජනාධිපතිවරයාටත් ඔහුගේ බිරියටත්, පෞද්ගලික ලේකම්වරියටත් බ්‍රිතාන්‍ය ඇතුළෙ නවාතැන්, ආහාර, ගමන් බිමන් සහ ඉතිරි කටයුතු සඳහා පමණයි. ඒ වියදම් පමණයි මේක ඇතුළෙ අන්තර්ගත වෙලා තියෙන්නේ.
විමර්ශන ඇතුළෙ අනාවරණය වෙලා තියෙන්නේ මේක පුද්ගලික සංචාරයක් කියන එක. ඒ අනුව තමයි විමර්ශන කණ්ඩායම් විසින් මේක පුද්ගලික සංචාරයකට අදාලව රජයේ මුදල් භාවිතා කිරීම සම්බන්ධව විමර්ශන කළේ. අනතුරුව ඔහුව අත් අඩංගුවට ගැනීම සිදුකළේ.
ඒ අනුව ඊයේ අත් අඩංගුවට ගත්ත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 1999 අංක 28 දරන පනතින් සංශෝධිත 1982 අංක 12 දරනපොදු දේපල පනතේ 5-1 වගන්තිය දණ්ඩ නීති සංග්‍රහයේ 386 , 388 සහ 398 කියන වගන්ති යටතේ අත් අඩංගුවට අරගෙන ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ.
නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ මෙම මුදල අනුමත කළ බලධාරියා හිටපු ජනාධිපති ලේකම්වරයා බවද පැවසුවේ.







