කන්න දෙන්නෙ නෑ… අමානුෂිකව වද දෙනවා… සේනපුර පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් උද්ඝෝෂණයක..

මනම්පිටිය නිමල් ජයරත්න –

හමුදාවේ පරිපාලනය විසින් සිදුකරන අමානුෂික පහරදීම් හා නිසි ආහාර නොලැබීම සම්බන්ධව චෝදනා කරමින් වැලිකන්ද සේනපුර පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් 200කට අධික පිරිසක් මේ වනවිට විරෝධතා ව්‍යාපාරයක නිතරව සිටිති.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ මාස හයක් තිස්සේ පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව වෘත්තීය පුහුණුව සඳහා මේ සේනපුර කඳවුරට යොමු කළ මෙම පිරිස පවසන්නේ ඊයේ රාත්‍රියෙත් රැඳවියන් දෙදෙනෙක් හමුදාවේ  අමානුෂික ප්‍රහාරයකට ලක් වූ බවය.

එමෙන්ම ආහාර හිඟය හේතුවෙන්  ඊයේ වැලිකන්ද රෝහලට ඇතුළත් කළ බවත් මෙම උද්ඝොෂකයින් කියන්නේය.

මේ වනවිට යුද හමුදාවෙන් සහ අරලංගවිල, වැලිකන්ද, මනම්පිටිය, හිඟුරක්ගොඩ පොලිසිවලින් විශේෂ භට පිරිස් ගෙන්වා කඳවුර වටා ආරක්ෂාව තර කර තිබේ.


රැඳවියන් පවසන්නේ තමන් වරදක් කිරීම හේතුවෙන් දණ්ඩනයට ලක් වී පුනරුත්ථාපනය ලබමින් සිටින නමුත් වධකාගාරයක වදයට ලක්වීමට සිදුවීම  දරා ගැනීමට අපහසු බවය.

පුලුවන් ඉක්මනින් මේ අමානුෂික පරිපාන ක්‍රමවේදය වෙනස් කරන ලෙස හෝ හැකි ඉක්මනින් සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් හදන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මෙම රැඳවියන් කිහිප දෙනෙකුට පහර දී ඇති ආකාරය පැහැදිලිවම නිරීක්ෂණය විය.

ඉකුත් ජූනි මස  29 වැනිදා කන්දකාඩු  පුනරුත්ථාපන කඳවුරේ රැඳීවියෙකු වු, අංක 22 ,7 කනුව උඩුවර,, දෙමෝදර පදිංචි, රාජපක්ෂ මුදියන්සේලාගේ බුද්ධික රාජපක්ෂ නැමැති 36 හැවිරිදි තරුණයා  ඝාතනය විය.

මෙම  තරුණ රැඳවියාගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත් ඔහුට පහර දී මරා දමා ඇති බව පසුගිය ජූලි මස 05 වැනිදා පොළොන්නරුව මහ රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන්    විශේෂඥ  අධිකරණ  වෛද්‍ය යූ.එල්.සුරංග තහවුරු කළේය.

මේ පිළිබඳව  අප කළ විමසීමක දී පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි පැවසුවේ දැනට සිද්ධිය සමතකයට පත් වී ඇති බවය. රැඳවියන් ඉල්ලා සිටින්නේ රටේ පවතින තත්ත්වයන් මත ආර්ථික දුෂ්කරතා දරාගත නොහැකි හෙයින් නිවෙස්වලට යන්න අවශ්‍ය බව නමුත් පවතින නෛතික ක්‍රමවේදයන්ට පිටින් ක්‍රියා කිරීමට හැකියාවක් නැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිසිම පහරදීමක්  හෝ ආහාර  හිඟයක් නොමැති බවත්   මේ සිද්ධිය ඇතිවන්නේ තමන්ගේ පුද්ගලික පරිහරණයට ලබා දෙන බඩු භාණ්ඩ විකුණා දුම්කොල මිල දී ගත් සිවුදෙනෙක් හසුවී ඔවුන්ට දඬුවම් කිරීමෙන් අනතුරුව බව ද කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කළේය.

 

 

Exit mobile version