මනම්පිටිය නිමල් ජයරත්න
අධික වියළි කාලගුණයක් සහ නියගයක් පවතින වකවානුවක මහියංගන, පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ සිරිපුර, නගරය හා එම ප්‍රදේශයේ මාර්ගය දෙපස ඇති මාර ගස් කපා ඉවත් කිරීමේ මුවාවෙන් මහා පරිමාණ දැව ජාවාරමක් සිදුවන බවත් මෙම ගස් කැපීම පිටුපස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රම සිටින බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මෙම මාර්ගය දෙපස වසර ගණනක් අහස උසට වැඩුණු මාර ගස්කැපීමත්, සමඟම ප්‍රදේශයට තවත් දැඩි රශ්මිය පවතින බවත් මාර්ගයේ ගමන් කරන මගි ජනතාව හා රථවාහන අනාරක්ෂිත තත්ත්වයට පත්වනු ඇති බවට පවසා මාරගස් ඉවත් කිරීම් සිදුකරන බවත් සිරිපුර නගරවාසීහු හා ප්‍රදේශවාසීන් සඳහන් කරති.
දැඩි පෑවිල්ලක් සහ වියළි කාලගුණයක් පවතින වකවානුවක පොලොන්නරුව මහියංගන ප්‍රධාන මාර්ගයේ සිරිපුර ප්‍රදේශයේ මාර්ගය දෙපස තිබෙන මෙම ගස් කපා ඉවත් කිරීම වහාම නවතන ලෙසට තමන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද සිරිපුර නගරවාසින් මෙන්ම ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
සිරිපුර නගරවාසින් මෙන්ම ගස් ඉවත් කිරීමට විරෝධය පාන විරෝධතාකරුවන් නගන චෝදනාව පිළිබඳ අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රමගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ඔහු මෙලෙස කීවේය.
ඔවුන් නගන චෝදනාව මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා, ගස් කැපීමට මගේ කිසිම සම්බන්ධතාවයක් නෑ, මගේ දේශපාලනයට මඩ ගහන්න ජනතා විමුක්ති පෙරමුණෙන් කරන විරෝධයක් පමණයි ඕක. මම ඔය ගස් කැපීම පිළිබඳ සොයා බැලූවා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමතියෙන්, රාජ්‍ය දැව සංස්ථාව සහකාර ප්‍රාදේශික කළමනාකාරවරයාගේ නිර්දේශය අනුවයි සිරිපුර ප්‍රදේශය අනාරක්ෂිත ගස් ඉවත් කිරිම කරන්නේ. ඒ ගස් කැපීමේ වගකීම් මට බාර ගන්න බෑ. රාජ්‍ය දැව සංස්ථාවේ නිර්දේශය ඇතුවයි එම ටෙන්ඩරය දීලා තියෙන්නේ”.
යැයි ඔහු කියා සිටියේය.