සිරිපා වන්දනාවේ යෙදෙන බැතිමතුන්, වෙළෙඳාම්කරුවන් සහ සේවා සැපයීමට සූදානම් වන පිරිස් අනුගමනය කළ යුතු රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව පනවා ඇති රෙගුලාසි මෙසේය.
1. නවාතැන් ගැනීම
එහි පළමු රෙගුලාසිය ලෙස සිරිපා අඩවියේ තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යාම සිදු නොකළ යුතු ය.
නවාතැන්පොළවල් ලෙස භාවිත කළ යුත්තේ ලිහිණිපොළ, පලාබද්දල විහාරස්ථානය, හැරමිටිපාන, ආඬියාමලතැන්න, වර්ණගල, සීතගගුල, මැදහින්න, ඉඳිකටුපාන යන විශ්‍රාමශාලා සහ අම්බලම් බව එම ගැසට් නිවේදනයේ සඳහන් ය.
2. ගොඩනැගිලි ඉදිකිරීම
එමෙන් ම රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ අවසරයකින් තොරව සිරිපා වන්දනා සමය තුළදී එම භුමි ප්‍රදේශයේ ස්ථිර, තාවකාලික ගොඩනැගිල්ලක් හෝ නවාතැන්පොළවල් ඉදිකිරීම තහනම් කර තිබේ.
3. යාචකයින්
සිරිපා මළුව හෝ අම්බලම් ආශ්‍රිතව සිඟමන් ඉල්ලීම හෝ සිඟමන් ලබාදීම හෝ බෙදා දීම් තහනම් කොට ඇත.
4. නෑම සහ සේදීම
වන්දනාකරුවන් දියනෑම හෝ රෙදි සේදීම සඳහා භාවිත කළ යුත්තේ දැනටමත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතන විසින් කරනු ලැබ ඇති ආරක්ෂිත ස්ථානවල පමණක් ලෙස දැනුම් දී තිබේ.
පෞද්ගලික ආයතන වන්දනාකරුවන්ගේ පහසුව පිණිස දිය නෑමට හෝ රෙදි සේදීම සඳහා පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතනවලින් ලිඛිත අවසරයන් ලබාගත යුතු වේ.
5. වාහන සහ ගමන් මාර්ග
ප්‍රාදේශීය සභාව හෝ අදාළ පළාත් පාලන ආයතන විසින් වෙන්කර ඇති ස්ථානවල හැර අනෙකුත් ස්ථානවල වාහන නැවැත්වීම සපුරා තහනම් කර තිබේ.
වන්දනා සඳහා වෙන්කර තිබෙන ප්‍රධාන මාවත් වන්නේ රජමාවත (පලාබද්දල මාර්ගය), හැටන් නල්ලතන්නි මාර්ගය හා කුරුවිට එරන්ත මාර්ගය බව දැනුම් දී සිටියි.
6. පරිසරය හා සනීපාරක්ෂාව
වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථාන මළුව, වන්දනා මාර්ගය හෝ විශ්‍රාම ශාලාවන් හා ඒ අවට පරිසරයට පොලිතීන්, ප්ලාස්ටික් අවිධිමත් ලෙස බැහැර නොකිරීමට වගබලා ගන්නා ලෙස දැනුම් දී ඇත.
ශ්‍රී පාද අඩවිය තුළ ගින්නක් ඇතිවන ආකාරයේ ගිනි මැල හෝ ගිනි දැල්වීම සිදුනොකළ යුතු ය.
එමෙන් ම වන්දනා කාලය තුළ දී අපද්‍රව්‍ය බැහැර කිරීම සහ වන්දනා මාර්ගයේ වූ අත්වැට විෂබීජහරණයට ලක් කිරීමේ වගකීම පළාත් පාලන ආයතන වෙත පවරා ඇත.
7. වෛද්‍ය පහසුකම්
පෞද්ගලික ආයතන විසින් පැවැත්වීමට අදහස් කරනු ලබන වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහ පළාත් පාලන ආයතනවල නිසි අනුමැතිය ලබාගත යුතුවේ.
8. වෙළෙඳාම සහ දන්සැල්
සිරිපා මළුව, විශ්‍රාම ශාලා පිහිටි ප්‍රදේශ මෙන්ම වන්දනා මාර්ගයේ සංචාරක වෙළෙඳාම තහනම් කර තිබේ.
දිස්ත්‍රික් ලේකම්වරයා හෝ වෙනත් බලයලත් නිලධාරියෙකු විසින් ලබා දෙනු ලැබ ඇති ඇති අවසරය ඇති ස්ථානවල හැර වෙනත් කිසිදු ස්ථානයක පූජා භාණ්ඩ, පූජා වට්ටි, ආහාර ද්‍රව්‍ය විකිණීම තහනම් වේ.
එමෙන් ම මත්පැන්, දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය විකිණීම, වෙළෙඳසල්වල තබාගැනීම හෝ වන්දනා මාර්ගයේ රැගෙන යාම තහනම් කර තිබේ.
සෑම වෙළෙඳසලක ම සහ ගොඩනැගිල්ලක ම කසල බඳුනක් තැබීම අනිවාර්ය කර ඇත.
දන්සැල් ලබා දීමට නම් පවතින සෞඛ්‍ය තත්ත්වයන්ට අනුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියෙකුගේ පූර්ව අවසරයක් මත පමණක් සිදුකළ යුතුවේ.
9. වසංගත තත්ත්වයන්
රට තුළ පවතින සෞඛ්‍ය තත්ත්වයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සිරිපා වන්දනා කටයුතුවල නියැලීම සිදුකළ යුතුවේ.
ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතු බවට අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වේ.







