සිතුල් පව්වේ දාගැබ බින්ද සොත්ති රණාගේ නිධන් කල්ලියම අත්අඩංගුවට

සූරියවැව නුවන් ජයසේකර –

ඓතිහාසික සිතුල්පවුව රජමහා විහාරයේ පිහිටි කුඩා සිතුල්පවුව පුදබිමේ  දාගැබක ගර්භය හාරා නිධන් වස්තු පැහැරගෙන යාමේ සිද්ධියට අදාලව තිස්සමහාරාම, යෝධකන්ඩිය පදිංචි සංචාරක මගපෙන්වන්නෙකු හා හෙරොයින් ජාවාරම් කරුවෙකු වන 46 හැවිරිදි  අලුත් පටබැදිගේ තුෂාන් ජයලත් නොහොත් සොත්ති රණා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු විමර්ශන  කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 31 වන දින රාත්‍රියේ මෙම සැකකරුවන් පිරිස කුඩා සිතුල්පවුව පුදබිමේ පිහිටි   දාගැබක ගර්භය බිඳ එහි තිබූ නිදන් වස්තු ලබාගෙන පසුව දාගැබේ ගර්භය ප්ලාස්ටර් ඔෆ් පැරිස් යොදා යළි පිළිසකර කරමින් සිටියදී විහාර භූමියේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා නිළධාරියෙකු විසින් සැක කරුවන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව එක් අයෙක්  අල්ලාගෙන තිබේ.    එහි සිටි සැකකරුවන් පළාගොස් ඇති අතර  අල්ලා ගත් සැකකරු     පොලීසියට බාරදිමට හමුදා නිළධාරියා සමත් වී තිබේ.


සිද්ධිය පිළිබදව අනාවරණය වීමත් සමග පුරා විද්‍යා නිළධාරීන් කණ්ඩායමක් හා තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රවින්ද්‍ර අඹේපිටිය හා සහකාර පොලිස් අධිකාරී ජයශාන්තද සිල්වා යන  ගේ උපදෙස් පරිදි කිරින්ද හා තිස්සමහාරාම පොලිස්‍ ස්ථානවල  නිළධාරීන් ඇතුළුව පොලිස් නිළධාරීන් කණ්ඩායම් කිහිපයක්   සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස අත්අඩංගුවට පත්ව සිටි සැකකරුගෙන් ලද තොරතුරුවලට අනුව   තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති එල්.ජී.නිමල්   ඇතුළු නිළධාරින් කණ්ඩායම විසින් 01 වන දින සවස මෙම පුරාවස්තු විනාශය සඳහා පුද්ගලයන් ප්‍රවාහනය කළ බව කියන හයිලක්ස් වර්ගයේ කැබ් රථය සමග ගඟසිරිපුර, තිස්සමහාරාම පදිංචි 37 හැවිරිදි අමිල නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් එම සැකකරුගෙන් කරණ ලද ප්‍රශ්න කිරිම් වලදි ලබාගත් තොරතුරු වලට අනුව සිද්ධියට සම්බන්ධ සූරිආර, කුමාරගම, මහගල්වැව පදිංචි 44 හැවිරිදි නිමල් ගාමිණී, ගැමුණුපුර, දෙබරවැව පදිංචි 25 හැවිරිදි සුමුදු ලක්ෂාන් ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් මේ වන විට පොලිසිය ප්‍රකාශ ලබා ගැනීම සිදුකරන අතර සැකකරුවන් අද (03) තිස්සමහාරාම මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සැකකරුවන් පිරිස කිසිවෙකුටත් සැකයක් නොසිතෙන පරිදි සෆාරි ජිප් රථයකින් පැමිණ රථය කැළයේ සඟවා තබා අදාල දාගැබ අසලට ගොස් යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් මෙම කැණීම සිදුකර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුවන් හානි කර ඇති මෙම ස්ථූපය මිට වසර කිහිපයකට පෙර ප්‍රතිසංස්කරණය කළ  එකකි. පොලිස් ප්‍රශ්න  කිරීම් හමුවේ සැකකරුවන් මේ වන විට පවසා ඇත්තේ දාගැබේ ගර්භය හෑරුවද එහි තිබි කිසිදු නිධන් වස්තුවක් ලබා ගැනීමට නොහැකි වු බවයි.

 

Exit mobile version