ඒජන්සි කරුවෝ මගහරිති… ග්‍රේ ෆාම් නෞකාවේ සිරවුුණු 180 අනාථයි…

ග්‍රේ ෆාම් යාත්‍රාව....

සමුද්‍ර ආරක්ෂකයින් ලෙස තමන්ව ඉන්දියානු සමාගමකට භාරදුන් ඒජන්සි කරුවන් මේ වනවිට  තමන්ව මගහරිමින් සිටින බව අරාබි මුහුදේ ග්‍රේ ෆාම්  නෞකාවේ  සිරවී සිටින ශ්‍රී ලාංකිකයෝ අද (08) අලුයම ලංකාසරට පැවසූහ.

සමුද්‍ර ආරක්ෂකයන්  ලෙස සිටින  තම කණ්ඩායමේ ශ්‍රී ලාංකිකයන් හැට හතර දෙනා මෙරට විවිධ ඒජන්සි මගින් සමුද්‍ර ආරක්ෂක සේවයට බැඳුන බවත්, තමන් මුහුණ පා සිටින තත්වයෙන් මුදවා ගෙන ලංකාවට නැවත පැමිණීමට උදව් කරන ලෙස අදාල ඒජන්සිවලින් කීප වරක් ඉල්ලා සිටිය ද   ඒජන්සි කරුවන් මෙතෙක් කිසිම පියවරක් ගෙන නොමැති බවත් මේ පිරිස අතර සිටින   ශ්‍රී ලාංකිකයන් ගෙන් කෙනෙක් වූ කැලුම් දිසානායක අප අමතමින්  පැවසීය.

නෞකාවේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් මෙරට ත්‍රිවිධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය අයවලුන් බවත්,තමන් සමුද්‍ර ආරක්ෂකයන් ලෙස සේවයට බැඳී ජාත්‍යාන්තර වෙළෙඳ නැව්වලට ආරක්ෂාව සැපයීමේ කටයුත්තේ නිරතවන බවත්, මාස 04ක පමණ සිට අරාබි මුහුදේ එක තැනක නැව නරත කරගෙන සිටියත් ගොඩබිමකට යෑමටහෝ වෙනත් පහසුකමක් ලබා ගැනීමට කිසිම  අවස්ථාවක් නොදෙන බවත්, එසේම තමන්ට  වැටුප් ගෙවීම්   සිදු නොකරන බවත් ඔහු වැඩිදුරටත් කීය.


තමන් මේ තත්වයෙන් මුදවාගන්නා ලෙස ලාංකික පුරවැසියන් සේ ගරු ජනාධිපතිතුමා ඇතුළු වගකිවය යුත්තන්ට ලිඛිතව දන්වා ඇතත් ඒ සඳහා කඩිනම් පියවරක් ගන්නා ආකාරය නොපෙනෙන බවත් ඔහු අවසන් වශයෙන් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම හුදකලා කළ කණ්ඩායමේ ශ්‍රි ලාංකිකයන් 64ක් සහ වෙනත් රටවල 115ක පිරිසක් වෙති.  මේ වනවිටත් ඔවුහු දුක්ඛිත ජීවිතයක් ගත කරමින් මරණය සමග පොර බදමින් හිඳිති.

Exit mobile version