අද දහවල් මාතර වරකාපිටිය ප්‍රදේශයේ දී සන්ෂයින් සුද්දා නැමැති පාතාල සමාජිකයා ඝාතනය කරනු ලැබුවේ ඩුබායි හි සිට මෙරට මත්කුඩු ජාවාරම් සහ මිනී මැරුම් මෙහෙයවන හරක් කටා නැමැති අපරාධකරු විසින් කොන්ත්‍රාත්තුවක් ලබා දුන් මිනීමරුවෙක් විසින් දැයි සැක පහළ වී ඇතැයි විමර්ශන අංශ කියයි.
ඝාතනය ලක් වුණු මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාමට සම්බන්ධ චෝදනා සහිත 31 වියැති පුද්ගලයෙකි.
ඝාතකයන් පැමිණ ඇත්තේ වැගන් ආර් රථයකින් බවත් එම රථයේ ලියාපදිංචි හිමිකරු මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් දැනට කර ඇති මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
ඔහු බොහෝ විට සිය හිතවතියකගේ නිවසට යන එන බවත් හුදකලාව යන ඒ ගමනේ දී මාතර වරකාපිටිය පාසල අසල සැඟවී සිට වෙඩි තබා ඔහුව ඝාතනය කර ඇති බවත් පොලිසිය පවසයි.
මීට වසරකට පෙර මේ ආකාරයේම ඝාතන තැතකින් මෙම පුද්ගලයා සිය ජීවිතය බේරා ගත්තේය. පසුගිය වසරේ මැයි මස 30 දා උදෑසන ඔහු මිරිස්ස ධිවර වරාය අසල දී වෙඩි පහරකට ලක් විය. අතට වෙඩි වැදී තුවාල ලබා ඔහු ජීවිතය බේරා ගත්තේය.
එම ඝාතනය කොන්ත්‍රාත්තුව අංගොඩ ලොක්කාගේ කල්ලිය විසින් ලබාගෙන ඇති බවත් එම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ හරක්කටා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපරාධකරු බවත් පසුව හෙළිදරවු විය.
මේ සිද්ධියත් සමග හරක්කටා ඩුබායි පැන්නේය.
සන්ෂයින් සුද්දා ලෙස හඳුන්වන ඝාතනයට ලක්වූ පුද්ගලයා මාකඳුරේ මධුෂ්ගේ සමීපම විශ්වාසවන්තයෙක් බව කියැවේ. ඔහු මධුෂ්ගේ ඩුබායි සාදයේ සිට පොලිස් අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙකි. මධුෂ්ගේ වත්කම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් කළමනාකරණය කර තිබුණේ මේ සන්ෂයින් සුද්දා නැමැති පුද්ගලයා විසින් බව පොලිස් ආරංචි මාර්ග හෙළි කළේය.