සනත් නිශාන්තලාගේ හොර වැලි ලොරිය නිදහස් නොකළ වෙන්නප්පුව ඕ.අයි.සී විසිවෙයි…

බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් වැලි ලොරියක් මුදා හැරින්නැයි රාජ්‍ය සනත් නිශාන්ත විසින් දෙන ලද නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. ධර්මසිරි වීරසිංහ  කොස්වත්ත පොලිස් ස්ථානයට සාමාන්‍ය රාජකාරි කටයුතු සදහා මාරුකර යවා ඇතැයි වාර්තා වේ.

වැලි ලොරිය රාජ්‍ය ඇමතිවරයාගේ සමීපතයෙකුට අයත් එකක් බව කියයි. වැඩ බලන ස්ථානාධිපතිවරයා විසින් වැලි ලොරිය මුදා නොහැරීම හේතුවෙන් රාජ්‍ය ඇමතිවරයා ප්‍රදේශය භාර පොලිස් අධිකාරීවරයෙකුට ඒ සම්බන්ධයෙන් සඳහන්කර සිය ගෝලයාව මුදා ගැනීමටද උත්සහයක නිරතව ඇත.

ඒ අනුව එම පොලිස් අධිකාරීවරයා විසින් වැඩ බලන පොලිස් ස්ථානාධිපති ධර්මසිරිට දුරකතනයෙන් ඇමතුමක් දෙමින් වැලි ලොරිය මුදා හරින ලෙස දැනුම් දීමක් කර ඇති බව සඳහන්ය. ඊට ධර්මසිරිගේ පිළිතුර වී ඇත්තේ වැලි ලොරිය සහ රියදුරු අත්අඩංගුවට ගැනීමේ සටහන් තබා අවසානයේ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත මුදා හරින බවට පොලිස් පොතේ සටහන් කරන බවය. ඊට පොලිස් අධිකාරීවරයා කලබලවී දුරකතනය තබා තිබෙන බවත් දේශපාලන සහ පොලිස් ලොක්කන්ගේ බලපෑම්වලට නතු නොවී ධර්මසිරි විසින් නීතිය අකුරට ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කලේය.


ධර්මසිරි සමග උරණ වූ  රාජ්‍ය ඇමතිවරයා ධර්මසිරිට වෙන්ප්පුවේ තවදුරටත් රැදී සිටින්නට ඉඩ නොදෙන බව පවසා ඇති බවත් ඒ කී ආකාරයටම ධර්මසිරි හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ස්ථාන මාරුවීමක් ලබා දී ඇති බවත් පොලිස් තොරතුරු සදහන් කළේය.

ඒත් එක්කම ධර්මසිරිට ඊළග ස්ථාන මාරුවීම ලැබී ඇත්තේ කොස්වත්ත පොලිස් ස්ථානයටය. කොස්වත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ධර්මසිරිට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ නිලධාරියෙක් බවත් සාමාන්‍ය රාජකාරි සඳහා ඔහුව යොදවා ඇත්තේ ඔහුට වඩා කනිෂ්ඨ නිලධාරියෙක් යටතේ බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.

ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් හෙළිපෙහෙලිකර ඉස්සන් කොටු සකස් කිරීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයාගේ සහෝදයාට චෝදනා එල්ලවූ අතර එම අවස්ථාවේදීද රාජ්‍ය ඇමතිවරයා විසින් පොලීසියට බලපෑම් කළ බව සදහන් විය.

ධර්මසිරිගේ ස්ථාන මාරුවීම සාධාරනීකරණය කරමින් දේශපාලනඥයන් පිනවන පොලිස් ලොක්කන් පවසන්නේ වෙන්නප්පුවට ස්ථිර ස්ථානාධිපතිවරයෙක් පත්කර ඇති බැවින් ධර්මසිරිව මාරුකළ බවය.

වෙන්නප්පුවට පත්කර ඇත්තේ දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාවය. වෙන්නප්පුවේ පොලිස් ස්ථානාධිපති ලෙස ස්ථීර වශයෙන් පත්කිරීමට යෝජනා වී පොලිස් මූලස්ථානයේ පිරිස් පාලන අංශය නම්කර සිටියේ ධර්මසිරිවය. එහෙත් හිටි හැටියේම වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපති දංකොටුවට ස්ථාන මාරුවීම් ලැබීම පිටුපසද සිටින්නේ රාජ්‍ය ඇමතිවරයා බව පොලිස් තොරතුරු සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොස්වත්ත පොලිස් බල ප්‍රෙද්ශයේ අපරාධ වර්ධනයක් පෙන්නුම් කරන බැවින් එහි අපරාධ අඩු කිරීමේ කටයුත්ත ධර්මසිරිට පවරා ඇති බව ද එම ස්ථාන මාරුවීම සාධාරණය කරමින් හලාවත පොලිස් ලොක්කෝ පවසති.

Exit mobile version