කීර්ති ප්‍රනාන්දු –
-
නඩු භාණ්ඩ ලෙස රඳවා තබාගෙන ඇති අලිත් බඩගින්නේ… රැක බලාගන්න වාර්ෂික වියදම රුපියල් මිලියන 45ක්…
-
අයවැයෙන් වසරට වෙන් කළ මුදල මේ වනවිට වියදම් වී ඉවරයි… සතුන් රැකගන්න කැපකරු භාරකාර ක්‍රමයක් යෝජනා කරයි..
දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යානවල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන නොමැතිකම මේ වනවිට උග්‍රව ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්මේන්තුවේ නිලධාරීහු පවසති.
අද (31) පෙරවරුවේ වනජීවි දෙපාර්තමේන්තුවේදී මීට අදාළව සාකච්ඡාවක් පැවතිණ. එහිදී සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැවසු අන්දමට විදේශ සංචාරකයින් පැමිණිම අඩුවීම, ඉන්ධන හිඟය නිසා දේශීය සංචාරකයින්ගේ පැමිණිම අඩුවීම, ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් සත්වෝද්‍යානවල සිටින සතුන් දැඩි ආහාර හිඟයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන්නේය.
එමෙන්ම නඩු භාණ්ඩ වශයෙන් සිටින අලි රැක බලා ගැනීම ද සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පැවරී ඇත. ඔවුන් රැක බලා ගැනීම සඳහා වසරකට රු.මි.45ක මුදලක් වැය වේ.
ඉහත තත්ත්වය තුළ රජය විසින් අයවැය ලේඛණය මඟින් වෙන් කරන ලද මුදල මේ වනවිට අවසන් ඇති බවත් නිලධාරීහු පැවසුහ.
සත්වෝද්‍යානවලට ආහාර සැපයුම සිදු කළ සැපයුම්කරුවන්ට මේ වනවිට රුපිය් මිලියන 59ක මුදලක් හිඟ මුදල් වශයෙන් ගෙවීමට සිදුව ඇති බවත් එසේම මෙම වසරේ ඉදිරි කාලය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සමඟ අඩු තරමින් රුපියල් මිලියන 120ක පමණ මුදලක් අවශ්‍යව ඇති බවත් අමාත්‍යාංශය කියයි.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් එම මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර, පියවර ගැනීමට කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර ඇත.
සතුන් සමඟ උනන්දුවක් දක්වන ජනතාවගේ සහයෝගය මත සතුන් රැක බලා ගැනීමේ ආයතනවල කැපකරු ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය කියයි.
පවතින ආර්ථික අර්බුදය මිනිසුන්ට මෙන්ම සතුන්ට ද දැඩි සේ බලපෑම් එල්ල කර ඇති අතර මෙම සතුන් රැක බලා ගැනීම සඳහා රජය විසින් සියලු පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.







