සජිත් ඇතුළු 99කට යූ.එන්.පීය තහනම් – ආපහු එනවා නම් රනිල්ගෙන් සතියක්

සමගි ජන බලවේගය නියෝජනය කරමින් මෙවර මහා මැතිවරණයට නාම යෝජනා භාරදී ඇති එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 99 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට අද රැස් වූ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය.

පක්ෂ නායක රනිල් වික්‍රම වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉහත යෝජනාව ඉදිරි ඉදිරිපත් කරන ලද්දේ එජාප මහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසිනි.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම් අද පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතව තිබුණද පැයක් පමණ ප්‍රමාද වී රැස්වීම ආරම්භ විය. සාමාජිකයන් හතළිහකට අධික පිරිසක් පැමිණ සිටි කෘත්‍යාධිකාරී මණ්ඩලයට පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ යෝජනාව අකිල විසින් ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සියලු දෙනාගේ නම් කියවිය යුතු දැයි නායක රනිල් සභාවෙන් විමසා සිටි අවස්ථාවේදී එහි සිටි වැඩි දෙනෙක් ඉල්ලා සිටියේ නම් කියවිය යුතු බව ය. ඒ අනුව පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන ලද 99 දෙනාගේ නම් එකිනෙක කියවීමට අකිලට සිදුවිය.


‘මේ අයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමෙන් පලක් නැහැ. ඔවුන් වහාම පක්ෂයෙන් ඉවත් කර පන්නා දැමිය යුතු’ යැයි රවි කරුණානායක, රංගේ බණ්ඩාර යෝජනා කළ අවස්ථාවේ ‘නැහැ. එහෙම ආවට ගියාට කරන්න බැහැ. මේ පක්ෂය වැඩ කරන ක්‍රමවේදයක් තිබෙනවා. අපි හැමදෙනාම පක්ෂ ව්‍යවස්ථාව පිළිගෙන ඒ ව්‍යවස්ථාවට අනුව වැඩ කළ යුතුයි. අනෙක් සමගි ජන බලවේගයට එකතු වුන අය තමන් කළේ වරදක් බව අද අවබෝධ කරගෙන සිටිනවා. එහෙම නම් ඔවුන්ට නැවත මේ පක්ෂයට එක්වීමට අවස්ථාව දිය යුතු’ යැයි කියා සිටියේ සමගි ජන බලවේගය සමග එක්වූ පිරිස් නැවත පක්ෂයට ගැනීමේ යටි අරමුණක් ඇතිවය.

රනිල්ගේ ඒ ප්‍රකාශයට ජෝන්ට තරමක් කේන්ති ගොස් තිබිණ. ‘ගිය එවුන් මොකටද ආය ගන්නෙ උන්ට යන්නම දෙන්න ඕන. අනික හරි තීන්දු හරි වෙලාවට ගත්තා නම් මෙහෙම වෙන්නේ නැහැ. දැන්වත් කටයුතු නිසි වේලාවට ගත යුතුයි. එහෙම නැතුව මේක කරන්න බැහැ’ යැයි ප්‍රකාශ කළේය.

ජෝන්ගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් රනිල් කියා සිටියේ ‘එහෙම පන්නලා දාන්න බැහැ. ඔවුන්ට වැරැද්ද නිවැරදි කරගන්න කාලයක් යුතුයි. මේ අයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ලිපිය යවන විට ඊට පිළිතුරු සැපයීමට දින හතක් ලබා දිය යුතුයි. එම කාලය තුළ පිළිතුරු නොලැබුණොත් ඉන්පසු විනය පරීක්ෂණ පවත්වා ඊළඟ පියවරට යා යුතු’ බවයි.

එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත වෘත්තිය සමිති කිහිපයක බලය සමගි ජන බලවේගය නතුකරගෙන තිබෙන බවත්, ඒ බලය යළි එක්සත් ජාතික පක්ෂයට ලබා ගැනීම සඳහා පියවර ගත යුතුව ඇති බවත් නවීන් දිසානායක ප්‍රකාශ කිරීමෙන් පසු එම වෘත්තිය සමිතිවල තනතුරට නවකයින් පත් කිරීමේ බලය රනිල් වෙත පැවරීමට අධිකාරි මණ්ඩලය තීරණය කළේය. එසේම සමගි ජන බලවේගය සමග එක් වූ ආචාර්ය හර්ෂ ද සිල්වා දැරූ එජාප භාණ්ඩාගාරික තනතුරට නීතිඥ අස්මි කාසිම් පත්කර ගැනීමට අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය පළවිය.

මෙම රැස්වීම අවසන් කරමින් අදහස් පළ කළ රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ කොරොනාව සහ දේශපාලනය පටලවා ගත යුතු නැති බවයි. පසුගිය කාලයේ කොරෝනා මර්දනය සම්බන්ධ යෝජනා රැසක් එක්සත් ජාතික පක්ෂය, රජයට ඉදිරිපත් කළ බවත් ඉන් බොහොමයක් ක්‍රියාවට නංවා ඇති බවත් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද කොරෝනා ඉස්සරහට දාගෙන ආණ්ඩුවත් විපක්ෂයත් දේශපාලනය කරන බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහසිංහ මහතා එය ඉතා භයානක ක්‍රියාවක් වන අතර මේ වෙලාවේ කවුරුත් කළ යුත්තේ සියලු ප්‍රශ්න හා මතබේද අමතක කර එකමුතුව කොරෝනා පරාජය කිරීමට බවත් කීය. ඉන්පසු වෙන වෙනම දේශපාලනය කළ හැකි බවත් පසුගිය සති අන්ත පුවත්පත් හා සමාජ මාධ්‍ය කිහිපයක ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා කර ඇතැයි ප්‍රවෘත්ති පළ කර තිබුණත් එහි කිසිදු සත්‍ය සත්‍යතාවක් නැතැයි මෙහිදී ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ආණ්ඩුවට වඩා අද වැදගත් වන්නේ කොරෝනා රැල්ලට මුහුණ දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ගැනීම බවත් ඒ අනුව කොරෝනා මර්දනය සම්බන්ධව නම් රජය සමඟ සාකච්ඡා පවත්වන බව වැඩිදුරටත් කියා සිටියේය.

Exit mobile version