සජබේ පළාත් පාලන ඡන්දෙට දැන්මම අපේක්ෂකයන් සොයයි

ශ්‍රී ලංකාවම නියෝජනය කරන ආකාරයට පළාත් පාලන අපේක්ෂකයින්ගේ නාමයෝජනා කැදවීමට සමගි ජනබලවේගය අද(05) තීන්දු කර තිබේ.

පාර්ලිමේන්තුවේ දී පැවැති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත.

මේ පිළිබඳ යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ගෙන ආ අතර ඊට මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික අනුමැතිය ලැබුණි.


නාමයෝජනා කැදවීමට අදාල කටයුතු ඉදිරි දෙසතිය තුල සූදානම් කරන ලෙස විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නේය.

මේ අතර සමගි ජනබලවේගයට සහයෝගය ලබාදුන් බවට චෝදනා කරමින් පළාත් පාලන මන්ත්‍රීවරුන් 70ගේ ධූර අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ අතර එම කැපකිරීම් කළ සියලු දෙනාට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දීමට ද තීන්දු කර ඇත.

සමගි ජනබලවේගයට සහයෝගය ලබා දුන් පළාත් පාලන මන්ත්‍රීවරුන් ඉලක්ක කොටගෙන ඔවුන්ට එරෙහිව ගෙන එනු ලබන තර්ජන සහ බලපෑම් පිළිබඳව කබීර් හෂීම්,නලින් බණ්ඩාර ඇතුලු මන්ත්‍රීවරු රැසක් අදහස් ප්‍රකාශ කළහ.

ඒ පිළිබඳව ද සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගනු ලැබීය. මේ සියලු අභියෝග මැද නොසැලී සමගි ජනබලවේගය සමග කටයුතු කළ පළාත් පාලන නියෝජිතයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් පක්ෂය ක්‍රියාමාර්ග රැසක්ම ගැනීමට නියමිත බව එම පක්ෂය කියයි.

ඒ අනුව සමගි ජනබලවේගයේ සියලු මන්ත්‍රීවරුන් ,ආසන සංවිධායකයින් නීතිඥ කණ්ඩායම් එක්ව අදාල පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සැකසේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ උසස් අධ්‍යාපනය නැංවීම උදෙසා ප්‍රමුඛ විශ්වවිද්‍යාලයක් යටතේ උපාධි පාඨමාලා හැදෑරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද තීන්දු කරනු ලැබු අතර ඊට අවශ්‍ය ප්‍රතිපාදන පක්ෂය විසින් දරනු ලැබේ.

Exit mobile version