මනම්පිටිය නිමල් ජයරත්න –
වී කිලෝවක් නිෂ්පාදනය කිරිමට යන වියදම සැලකිල්ලට ගනිමින් මෙවර යල කන්නයේ වී කිලෝවක් සඳහා සාධාරණ සහතික මිලක් ඉදිරි දින තුන තුළ නොදුනහොත් දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් ආරම්භ කර රජයේ කිසිම දේශපාලන නියෝජිතයෙකුට සිය ගම්මාන හතර මායිමට එන්නට ඉඩ නොදෙන විරෝධතාවයක් ගොඩනගන බව මහවැලි බි කලාපයේ සෙවණපිටිය ගොවිසංවිධාන 21ක නියෝජිත පිරිසක් අද (29) පෙරවරුවේ සෙවනපිටිය වෙල් යායේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.
මේ වනවිට යල කන්නයේ වී අස්වනු නෙළෙමින් පවතින අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පෞද්ගලික වී මෝල් හිමියන් තමන්ගේ වීෙඅ ස්වනු තුට්ටු දෙකට ලබා ගනිමින් සිටින බවත් කිසිදු ස්ථානයක රජය මගින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවත් ගොවීහු කියති.
වහාම රජය මැදිහත් වි ගොවියාගේ වී අස්වනු සහතික මිලකට හෝ සාධාරණ මිලකට ලබා ගැනීමෙ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී සංවිධාන නියෝජිතයින් රජයෙන් ඉල්ලීමක් කළහ. ඔවුන් ඉල්ලා සිටින්නේ වී කිලෝවක් සදහා රුපියල් 150ක සහතික මිලකි.
පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් මේ වන විට කීරි සම්භා මිලදී ගැනීමෙන් වැලකී සිටින අතර, නාඩු හා සම්බා වි කිලෝ වක මිල රුපියල් 100 දක්වා පහළ දමා ඇති බැවින් තම වි නිෂ්පාදන සාධාරණ මිලකට ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද ගොවි සංවිධාන නියෝජිතයෝ මෙහිදී සඳහන් කළහ.
දින තුනක් ඇතුළත රජය වී කිලෝවක සහතික මිල රුපියල් 150 ක් බවට පත් නොකළහොත් මහවැලි බි කලාපයේ සියලු ගොවි සංවිධාන එක්ව සෙවණපිටිය නගර මධ්‍යයේ දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරන බව සෙවනපිටිය කොට්ඨාස ගොවි සංවිධාන සභාපති අසංක සංජීව මෙහිදී සඳහන් කළේය.
මෙවර යල කන්නයේ වි නිෂ්පාදනය සඳහා ප්‍රමිතියෙන් තොර වල් නාශක සහ කෘමි නාශක, මෙන්ම පොහොර ලබා දී තිබෙන බවත්. ඒ තත්ත්වය අනුව අක්කර දෙකහමාරකින් තමන් අපේක්ෂා කළ වී අසන ලබා ගැනීමට නොහැකි වී ඇති බවත්, එවැනි තත්ත්වයන් මත තවත් අමතර වියදම් දරමින් කෘමි නාශක, හා වල්නාශක අවස්ථා කිහිපයකදී යෙදීමට සිදු වු බවද ගොවි සංවිධාන නියෝජිතවරු මෙහිදී අවධාරණය කළහ.
සාමාන්‍යයෙන් අක්කර දෙකහමාරකින් වී කිලෝ 5000ක් පමණ ලැබෙන බවත්, එම වී කිලෝ 5000 රුපියල් 100 බැගින් අලෙවි කිරීමට සිදුවුවහොත් සම්පූර්ණ කුඹුරකින් ලබාගැනීමට හැකිවන්නේ රුපියල් ලක්‍ෂ 5 පමණ මුදලක් බව ද ගොවීන් සඳහන් කළහ.
මෙවර යල කන්නයේ අක්කර දෙකහමාරක කුඹුරක අස්වනු නෙළීම සඳහා සූත්‍ර වලට පමණක් රුපියල් 45,000ක් 50,000 මුදලක් ගෙවීමට සිදුවන බවත්, මෙම තත්ත්වයන් තුළ තුන්සිය හැටපස් දවසම පොලොව හා ගැටෙමින් කරන ගොවිතැන සඳහා අනෙකුත් පිරිවැයත් එක් වූ විට ගොවියෙකුට ජීවත් වන්නට ඉතිරිවන්නේ කොපමණ සොච්චමක් දැයි ඔවුහු ප්‍රශ්න කරති.
මෙවර යල කන්නයේ වී කිලෝවක් සඳහා සහතික මිල නියම නොකළහොත් ඉදිරියේ පැවත්වන ජනාධිපතිවරණයේදී ගමට කිසිදු දේශපාල නියෝජිතයකුට පැමිණීමට ඉඩ නොදෙන බවත්, ඊට පෙර වී කිලෝවකට රුපියල් 150 ක මිලක් නියම කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ද ඉල්ලා සිටන බවද ගොවි නියෝජිතවරු කීහ.
මෙවර මහවැලි බි කලාපයේ ගොවි පවුල් 25,000 ක පිරිසක් කුඹුරු 65,000 කට වැඩි ප්‍රමාණයක් වී වගා කොට තිබේ.







