විෂ එන්නත් කර 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් ඝාතනය කළ බවට සැක කරන පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ බව දික්වැල්ල පොලීසිය පවසයි.
දික්වැල්ල වත්තේගම දකුණ ප්රදේශයේ නිවසක පදිංචිව සිටි 70 හැවිරිදි අවිවාහක කාන්තාවක් විෂ සහිත එන්නතක් ශරීරගත වූ බව පවසමින් මාතර, බතීගම රෝහලට ඇතුළත් කර තිබුණේ දෙසැම්බර් 20 වනදා පස්වරුවේ දීය.
අනතුරුව තත්ත්වය බරපතළ වීම හේතුවෙන් මාතර දිස්ත්රික් මහ රෝහල වෙත මාරුකර යැවුණු ඇය දින 4ක් එහි දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (24) සවස මියගොස් තිබේ.
ඇයගේ ඥාතීන් පවසන්නේ, නාදුනන පුද්ගලයෙකු නිවසට පැමිණ ඇයට යම් විෂක් එන්නත් කර පලාගොස් ඇති බවත් ඉඩම් ආරවුලක් සම්බන්ධව විමර්ශනයක් සිදුකරමින් පවතිද්දී සිදුවූ මෙම මරණය සැක සහිත බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය සිදුකළ විමර්ශනවලදී අදාළ නිවස අසල පිහිටි CCTV කැමරාවක දර්ශන පරීක්ෂා කර තිබුණි.
ඒ අනුව කිසියම් පුද්ගලයෙකු අදාළ කාන්තාව හමුවීමට පැමිණ නිවසට ඇතුළුවන ආකාරය එහි දැක්වෙයි.
මිනිත්තු කිහිපයකින් පසු නාඳුනන පුද්ගලයා සහ අදාළ කාන්තාව නිවස දෙසින් කලබලයෙන් පිටතට පැමිණෙන අයුරු නිරීක්ෂණය වෙයි.
කාන්තාව ගෙල ප්රදේශය අල්ලාගෙන පාර මාරුවී අසල පිහිටි ඥාති නිවසකට දිවයන අතර විෂ එන්නත් කළ බව පැවසෙන පුද්ගලයා යතුරුපැදියෙන් පලායන ආකාරය ද CCTV දර්ශනවල ඇතුළත් ය.
සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දික්වැල්ල පොලීසිය පැවසුවේ අදාළ කාන්තාවට විෂ එන්නත් කළ බව පැවසෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන මාතර අධිකරණයට අද (25) ඉදිරිපත් කළ පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවය.
මියගිය කාන්තාවගේ රුධිර සාම්පල රස පරීක්ෂක වාර්තා ලබාගැනීම සඳහා යොමුකර ඇති බව මාතර මහ රෝහලේ ප්රකාශකයෙකු පවසයි. (අද දෙරණ)







