“වාහන අලුත්වැඩියා කරන්න“ භූගත ලෝහ සොයන යන්ත්‍ර ගෙනා ගරාජ හිමියෙක් අත්අඩංගුවට

පොළොවේ වල දමා ඇති ලෝහ හඳුනාගැනීමේ උපකරණ තුනක් සමග දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු (අයි.ආර්.සී) යවන ගරාජ හිමියකු පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් පෙරේදා (09) පිංදෙණිය බෝයගමදී අත්අඩංගුවට ගෙන තිබේ.

බස් රථ හිමිකරුවෙක්ද වන සැකකරු 58 වියේ පසුවන්නෙකි. විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව කළ වැටලීමේදී බෝර 12 සජීවී පතොරම් 10 ක්, බෝර 16 පතොරම් 04 ක්ද ඔහු සතුව තිබී හමුවී ඇත.

වාහන අලුත්වැඩියා කිරීමේ ගරාජයක් ද ඔහුට අයත් බව සඳහන්ය. භූමියේ ඇති ලෝහ උපකරණ හදුනා ගැනීමේ යන්ත්‍ර තුනක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු සදහන් කර ඇත්තේ වාහන අලුත් වැඩියා කිරීමේ කටයුතුවලට එය යොදා ගන්නා බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. එහෙත් එවැනි උපකරණ වාහන අලුත් වැඩියා සදහා යොදා නොගන්නා බවත් මෙම උපකරණ පසුගිය කාලයේ වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ නිදන් වල දමා ඇති ස්ථාන හදුනා ගැනීමට බවත් එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.


මෙම සැකකරුගේ නම දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලේඛනයට ඇතුළත්ව ඇත්තේ ගිනි අවි භාවිතා කිරීම් සම්බන්ධයෙන් වූ චෝදනාවක් ඇතුළු අපරාධ කිහිපයකට ඔහු අධිකරණය හමුවේ වරදකරුවූ පසුව බවද පොලීසිය සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සැකකරුට මෙම උපකරණ තුන ලද ආකාරය ගැන විමර්ශන පවත්වන බව විශේෂ කාර්ය බලකාය සදහන් කරයි. වැඩිදුර විමර්ශන සදහා සැකකරු පිංදෙණිය පොලිස් ස්ථානයට භාර දී තිබේ

Exit mobile version