සිංහරාජය රැක ගැනීම උදෙසා අසීමිත සේවයක් කළ වනස්පති මිනිසා, මාර්ටින් විජේසිංහ ඊයේ රාත්‍රියේ (24) අප අතරින් සමු ගත් බව සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.
මාටින් විජේසිංහයන් මිය යනවිට 93වන වියේ පසුවූයේය. සිංහරාජය පර්යේෂණාගරයක් කරගත් ඔහු මේ රටට ‘මාටින් අයියා’, නැතිනම් මාටින් මාමා විය.
පනහ දශකයේ අග භාගයේ සිය බිරිඳ සොෆිනෝනා සමග කැලෑ වැදුණු ඔහු සිය ජීවිතය කැප කළේ සිංහරාජය වෙනුවෙනි. අටවෙනි පන්තියට පමණක් විධිමත් අධ්‍යාපනය ලද නමුත් ස්වෝත්සාහයෙන් කළ අධ්‍යයන් හේතුවෙන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පරිචය මෙන්ම සිංහරාජය පිළිබඳ උද්භිද විද්‍යාඥයෙකු සතුවිය යුතු අසීමිත දැනුම ඔහු සතුව තිබිණි.
සිංහරාජය වෙත පැමිණෙන දෙස් විදෙස් පර්යේෂකයන් සිය අධ්‍යයන කටයුතු උපකාරය ලැබුවේ මාටින් විජේසිංහයන්ගෙනි. හාවඩ්, යේල් සරසවිවල සිසුන් එම විශ්ව විද්‍යාලවලින් ඔහු වෙත යොමුකරන ආකාරය වරෙක බීබීසි ය වාර්තා කළේය.
වර්ෂ 1972 දී සිදුවූ සිංහරාජ වන සංහාරයත් සමග ඔහු එම වන දහනේ එකම මුරකරු ලෙස පත්වූයේය. මිය යනවිට 93වන වියේ පසුවූ මාර්ටින් විජේසිංහයන් සය දරු පියෙකි.
මේ වනවිට සිරුර රත්නපුර රෝහලේ තැන්පත් කර තිබේ. ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.