කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට පුද්ගලික අංශයේ රැකියාවල නියුතුව සිටි ලක්ෂ 03කට අධික පිරිසකට රැකියා අහිමිවී ඇති බැවින් ඔවුන්ගේ රැකියා සුරක්ෂික කර දීමට වහා මැදිහත්වන ලෙස ආණ්ඩුවට බලකර සිරීමේ උද්ඝෝෂණ මාලාවක් රට පුරා දියත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සැලසුම් කර තිබේ.
රැකියා අහිමි වූවන් ඒකරාශී කරගනිමින් සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙතක් අනුගමනය කර පවත්වනු ලබන මෙම උද්ඝෝෂණ මාලාවේ ප්‍රථම උද්ඝෝෂණය හෙට (02) පෙරවරුවේ හම්බන්තොට කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලය අසලින් ආරම්බ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ ලංකාසරට පැවසීය.
රැකියා අහිමි වූවන් පිළිබඳ දත්ත දිස්ත්‍රික් මට්ටමින් කම්කරු කාර්යාල වෙත භාර දෙන අතර ඉන් අනතුරුව සීමිත පිරිසක් සහභාගී වෙමින් මෙම උද්ඝෝෂණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඔහු පැහැදිලි කළේය.
රැකියා විරහිතව අසරණ වී මහ මගට වැටුණු මේ ලක්ෂ 03ක පිරිස ගැන නිසි වැඩපිළිවෙළක් හාමුපුතුන්ට හෝ ආණ්ඩුවට නැති බව වසන්ත සමරසිංහ පෙන්වා දුන්නේය.
“ඇතැම් ආයතන රැකියා නැති කළා විතරක් නොවෙයි… වැටුප් ප්‍රශ්නත් ඇති කරලා තියනවා… සමහර අය මාසික වැටුපෙන් අඩක්, කාලක් දීලා තියනවා. අයෙක් ශත පහක වැටුපක් දීලා නෑ… මේ සම්බන්ධව ආණ්ඩුව මැදිහත්ව විසඳුමක් නොගන්නේ නම් දැඩි ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා..“ යැයි වැඩිදුරටත් ඔහු පැවසීය.