බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෑට   පේව්මන්ට් එකේ නිදාගෙන වාසනාව සොයා ගිය ගමන ගැන  සිද්ධාලේප වෙදමහත්තයා එදා  කී කතාව…

by editor
අප්‍රේල් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වික්ටර් හෙට්ටිගොඩ අද අළුයම අභාවප්‍රාප්ත විය. ඔහු සම්බන්ධව විවිධ අර්ථකථන තිබෙන්නට පුලුවන. අප ඔහුව හඳුනා ගන්නේ එක් ව්‍යාපාරික පරපුරක් ප්‍රභාවත් කළ විශිෂ්ටම ලාංකේය සලකුණක් ලෙසය. දේශීය ආයුර්වේද වෙදකමේ ඉදිරිපත් කිරීම නූතන ලෝකයට ගැලපෙන ලෙස ප්‍රතිසංවිධානය කළ විශිෂ්ට නිර්මාණශීලී ඥානයක් මෙන්ම ඒ සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් සහිතව සිටි වික්ටර් හෙට්ටිගොඩයන් දිවිමන්ව සිටි කාලයේ ඉතාම අපූරු සංවාදයක් සිළුමිණ පුවත්පතේ පලවිය. වර්ෂ 2016 පළවී තිබූ එම ලිපිය සම්පාදනය කර තිබුණේ සිළුමිණ මාධ්‍යවේදිනී වත්මන් ව්‍යාපාර කර්තෘ  ඉනෝකා පෙරේරා බණ්ඩාර විසිනි. එම සංවාදය මෙසේ උපුටා පල කරමු.

ඉනෝකා පෙරේරා බණ්ඩාර –

  • පේව්මන්ට් එකේ නිදිය ගත්තම මහන්සියට පාන්දර නින්ද යනවා. “ඒයි නැගිටපං … කවුද යකෝ… උඹ…?” කියල පොලිස් කාරයෝ පයින් ගහන කොට මාව උඩ ගිහින් විසිවෙලා ඇහැරෙනවා.

සිංහල වෙදකමට වෙනස් මුහුණුවරක් දුන් වික්ටර් හෙට්ටිගොඩ, දේශීය ආය‍ුර්වේදය ලෝකය දක්වා ගෙන ‍ගියේ ය.ඒ, පවුලේ රහසක්ව රැ‍කගෙන ආ බෙහෙත් වට්ටෝරුවකින් හැදූ සිද්ධාලේපය සමාජගත කිරීමෙනි. විවෘත ආර්ථිකයෙන් බොහෝ දේ ගලා එන යුගයෙක එය ලෙහෙසි කටයුත්තක් ද නොවී ය‍. ඉතා දුෂ්කර ගමනක යෙදෙමින් අවසානයේ ඔහු සිය ඉලක්කයට පැමිණියේ ය. වැටීම් – නැඟීම්, දුක – සතුට, කඳුළ – සිනහව අඩු නැති ඒ ගමන, ඔහු තරුවක් බවට පත් කළේ ය. මේ ඔහුගේ කතාවයි.

  • ඔබ වැඩිය කැමැති ව්‍යාපාරිකයෙක් විදියට හඳුන්වනවට ද…. නැතිනම් වෙද මහත්තයෙක් ය කියන හැඳින්වීමට ද…

වෙද මහත්තයෙක් කියනවට. මොකද, අපේ පාරම්පරික වෙදකම මිනිස්සු අතරට වෙනස් විදියට ගෙනියපු නිසයි මං ව්‍යාපාරිකයෙක් වුණේ. ඒ නිසා වෙදකම මං දේවත්වයෙන් සලකනවා.

  • දේවත්වයෙන් සලකනවා නම් ඔබට වෙදකම විතරක් වුණත් කරන්න තිබුණනේ…

වෙදකම විතරක් කළා නම් මේ තරම් දුරක් එන්න ලැබෙන්නෙ නැහැ. මිනිස්සු ආයුර්වේදයෙන් ඈත් වෙලා හිටි යුගයක් ඒ. ආයුර්වේදය වුණත් නව මඟකින් මිනිස්සු අතරට ගෙන යා යුතු වග මං ‍ෙත්රුම් ගත්තා.

  • ‍සිංහල වෙදකම හොඳටම Market කළ වෙද මහත්තයා ඔබ, කිව්වොත්…

සිංහල වෙදකම ලෝකෙට අරන් ගිය වෙද මහත්තයා කිව්වොත් මං වඩා සතුටුයි. අපේ ආයුර්වේදයේ විස්මිත ප්‍රතිකාර – ඖෂධ මං ජාත්‍යන්තරයට අරන් ගියේ, සංචාරකයන් හරහා. දේශීය ආයුර්වේදය ප්‍රචලිත කිරීමේ හොඳම මඟ එයයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

  • රටවල් කීයක සිද්ධාලේප ‘Spa’ තියෙනවද…

රටවල් 40 කට අපේ ආයුර්වේද නිෂ්පාදන යවනවා. ජර්මනිය, ස්ලෝවැකියාව, චෙක් රිපබ්ලික් සහ ස්පාඤ්ඤයේ ‘Spa’ මධ්‍යස්ථාන ගණනාවක් තිබෙනවා. ඒ හැම එකකම වැඩ කරන්නේ අපේ දේශීය ආයුර්වේද වෛද්‍යවරු. භාවිත කරන්නේ අපේ දේශීය බෙහෙත් ඖෂධ. ශ්‍රී ලංකාවේත් ආයුර්වේද ‍රෝහල, හෝටලය ඇතුළු Spa Centers ගණනාවක් තිබෙනවා.

  • සිද්ධාලේප නම හැදුවේ බුදුන්ගේ නම ඇසුරින්ද?

නැහැ. සිද්ධ යෝගීන්ගේ නම් ඇසුරින්. ‘ආලේප කළොත් සුව වෙනවා…ය’ කියන අර්ථයෙන්. ඒක හරියටම ගණ බලලා පිහිටුවපු නමක්. ඒක තාත්තා 1934 ඉඳන් භාවිතා කළාට නම මිනිස්සු අතරට ගෙනිච්චේ මම.

  • ‘සිද්ධාලේප’ බාම් එකේ නිර්මාතෘ කවුද…

මගේ තාත්තා. 1920 ගණන්වල මගේ තාත්තා නිතර ඉන්දියාවට ගියා. මදුරාසියේ පොඩි කඩයකුත් තිබුණා. එහෙදී අඳුනාගත්තු මහත්තයෙක් හරහා තමයි යෝගිවරුන්ගෙන් ආයුර්වේදය තවදුරටත් ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ජ්‍යොතිෂය සහ ආයුර්වේදය හුඟක් කල් ඉගෙන ගත්තට පස්සේ, හොඳම ශිෂ්‍යයා වෙච්චි මගේ තාත්තට ඒ යෝගිවරුන්ගෙන් ලැබුණු වටිනාම තෑග්ග තමයි සිද්ධාලේප වට්ටෝරුව. ඒ 1934 අවුරුද්දේ.

  • ඒ, ඉන්දියාවෙ පමණක් භාවිත වූ බෙහෙත් වට්ටෝරුවක් ද…

නැහැ. ඉන්දියාවෙවත් මේක හදලා තිබුණෙ නැහැ. සිද්ධාලේප හැදුවෙ ලංකාවේ විතරයි. තාත්තා ලංකාවට ඇවිත් මේ බාම් එක හදලා, තමන් ළඟට එන රෝගීන්ට ආලේප කළා . නොමිලේ බෙදුවා.

  • හෙට්ටිගොඩ වෙද පරම්පරාව පැතිරිලා තිබුණෙ කොයි පළාතෙද…?

ගාල්ලේ ඉමදූවේ – වල්පොළ ගමේ පැතිරුණු වෙද පරපුරක පස්වැනි පරම්පරාව තමයි මගේ තාත්තා‍. ආය‍ුර්වේද වෛද්‍ය හෙන්දිරික් ද සිල්වා හෙට්ටිගොඩ. එතුමා බෙහෙත් කළේ වකුගඩු රෝගීන්ට. ඒ වගේ ම ‘ජීවිතය සහ ග්‍රහයෝ’, ‘පලා ඵල කියන හැටි…’ කියන අද ජ්‍යොතිෂ වේදීන්ගේ අත්පොත් බවට පත්වෙච්චි පොත් දෙක ලියූ සහ පුවත්පත්වලට ආයු‍ර්වේද ලිපි ලියූ ජ්‍යොතිෂවේදියෙක්.

  • එතකොට මහාචාර්ය වල්පොළ රාහුල හාමුදුරුවොත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?

ඒ මගේ තාත්තාගේ මල්ලි. මගේ බාප්පා. එතුමා බුදුදහම ලෝකෙට ගෙනියන්න කටයුතු කළා. මගේ තාත්තා ආයුර්වේදය ජනප්‍රිය කරවන්න, කටයුතු කළා.

  • ‘සෙරෙප්පු නොදාන වෙද මහත්තයා’ මේ හැඳින්වීම ඔබට දුන්නෙ කවුද…?

ඉස්සර වෙද මහත්තුරු සෙරෙප්පු පැලඳුවේ නැහැ. මගේ ජීවිතයෙන් වැඩි කාලයක් මං ගෙවලා තියෙන්නෙ සෙරෙප්පු නැතිව. ඒක හොඳින් අධ්‍යයනය කරපු ‘Asia week’ සඟරාව දීපු හැඳින්වීමක් තමයි ඔය.

  • ඔබව බිස්නස් ලෝකයේ ඔසවා තැබුවේ සිද්ධාලේප බාම් කුප්පිය?

ප්‍රධාන කොට ඔව්. අද වෙනකොට තවත් බෙහෙත් ඖෂධ හා නිෂ්පාදන වර්ග 150 ක් අපි හදනවා. මොන තරම් ඉන්දියානු බාම් වර්ග ලංකාවට ආවත් සිද්ධාලේප වලට තියෙන ඉල්ලුම අඩුවෙන්නේ නෑ. මනුස්සයා සුවපත් කිරීම කියන උතුම් අරමුණ ඇතිව හදන නිසා ඒක කවදාවත් මනුස්සයාට විෂ ව‍ුණේ නැහැ. කිසිම ඒජන්තවර‍යෙක් නැතිව රටේ ඕනෑම අහුමුල්ලක ඍජුවම අපිම තමයි සිද්ධාලේප බෙදා හරින්නේ. මොන රටින් මොන බාම් එක ආවත් ඒක මට කිසිම ගැටලුවක් නෙවෙයි.

  • ප්‍රාග්ධනය – කීයක් අතේ තියාගෙන ද බිස්නස් එකට අත ගැහුවේ…

රුපියල් දෙදාහයි. ඒක ඉල්ලා ගත්තේ නැන්දම්මාගෙන්… ඇය විදුහල්පතිවරියක්. මට‍ කොහොම හරි සල්ලි ටික හොයලා දුන්නා.

  • ණයක් ගත්තොත් ආපහු ගෙවන්න ඕනෙ… ඔබත් එහෙම කළාද…?

අවුරුදු 85 ක් වෙලා මිය යන තුරුම මං ඇයට ඉතා හොඳින් සැලකුවා‍. ඇය ආපහු මුදල් ගන්නා කෙනෙක් නෙවෙයි. නමුත් මං ඒ මුදලින් දියුණු විය යුතුයි කියන අපේක්ෂාව ඇයට තිබුණා. දියුණු වෙනවා කියන විශ්වාසයත් තිබුණා. මං ඒ කාරණා දෙකම ඉටු කළා.

  • ප්‍රචාරණය ගැන මොනවා දැනගෙන ද ‘සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්තයා…’ ටැග් එක හැදුවේ…?

ඒවා ඇ‍ඟෙන් එන දේ මිස විෂයන් හදාරලා ඉගෙන ගත්තු දේ නෙවෙයි. ඔය ටැග් එක දවසක්දා රෑ නින්දෙන් නැගිටලා මං ලියුවේ. අලුත් දෙයක් ගැන හිත හිතා නිදාගත්තත් රෑ නින්දෙන් හරි මට ඒ දේට අවශ්‍ය සිතුවිලි උපදිනවා.

එක වෙසක් දවසක මං මගේ හිල්මන් කාර් එක උඩ වෙසක් කූඩුවක් වගේ සිද්ධාලේප බෝතලයක් හැදුවා. කාර් එක ගෝල් ෆේස් එකටම පදවාගෙන ගියා. සෙනඟ හැමෝම බලපු හැටි තවම මතකයි. ‘කැක්කුම් ඔක්කොම නස්නා ලේපේ දස්කම් දක්වන සිද්ධාලේපේ…’ ඔය පද ටික ලියා දුන්නේ මර්සලිනු ජයකොඩි පියතුමා… මේවා හදවතින් ආ දේවල්. Marketing කියන්නෙත් ඉතින් මේවටම තමයි.

  • කී දෙනකුට රස්සා දුන් ව්‍යවසායකයෙක් ද ඔබ…

ඍජුව හා වක්‍රව දෙදහසකට පමණ. මොකද අපේ වතු සමාගමේ බෙහෙත් ඖෂධ අක්කර ගණන් තිබෙනවා. තේ, පොල් සහ ඖෂධ පැළ මේවායේ ඇති තරම් වවනවා. පාසල් 250 ක වවන ඔසු වගාවන් අපි මිලදී ගැනීමත් එක ව්‍යාපෘතියක්.

  • අනුරාධපුර Victory Hospital එකත් අයිති ඔබටද…

ඇම්බියුලන්ස් එක කෙළින් ම තියටර් එකට යන්න පුළුවන් විදියට මං ඒ ඉස්පිරිතාලේ හැදුවේ. යුද සමයේ ඒකෙ වැඩිම ප්‍රයෝජනය තිබුණෙ අපේ හමුදාවට.‍ ඉතින්, ඒ වෙලාවේ රෝහල රජයට පවරාගන්න මගෙන් ඉල්ලීමක් කළා. ඒක මං දුන්නා. ලැබුණු ගෙවීමට වඩා මං ඒකෙන් සිදුවූ සේවය ගැන සතුටු වෙනවා.

  • මනුෂ්‍යයෙක් හැටියට ඔබ කොහොම කෙනෙක්ද…?

මං බොහොම සාධාරණ කෙනෙක්. මං ව්‍යාපාරිකයෙක් විදිහට ගොඩ නැඟුණෙත් සාධාරණව හම්බ කළ දෙයින්…

  • හුඟක් ව්‍යාපාරිකයෝ කෝටිපතියෝ වෙන්නෙ සාධාරණව හම්බ කරලමද…

මං දන්නෙ මං ගැන. ව්‍යාපාර කරන ඕන කෙනකුට පුළුවන් සාධාරණ විදියට බිස්නස් කරන්න. ඒකෙන් ගොඩ නැ‍ඟෙන්න… ඒක බැහැ කිව්වොත් බොරු.

  • තීන්දු තීරණ ගනිද්දී හිතුවක්කාරයෙක් ද?

අනිත් අය කියන දේත් අහගෙන ඉන්නවා. හැබැයි ඉතින් අන්තිමට කරන්නෙ මට ඕනේ දේ. ඒ මගේ හැටි.

  • ඔබ කැමැතිම ව්‍යවසායකයා කවුද…?

මැලිබන් මුදලාලි. එතුමාගේ ජීවිත කතාව මම බොහොම කැමැත්තෙන් නැවත නැවත කියවනවා. ඒ ජීවිතයෙන් ගන්න දේ බොහෝමයි. අනික ඔහු දකුණේ අපේ ගම් පළාතෙන් ම බිහි වෙච්චි කෙනෙක්. එතුමා මගේ වෙඩින් එකටත් ආවා.

  • ජීවිතේට අභියෝග ගැටලු එන තරමට අපි ‘හයිය’ වෙනවා.. මේ කතාවට ඔබ එකඟද…

මං අභියෝග – ප්‍රශ්න ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. ප්‍රශ්නෙකට උත්තරේ හොයාගත්තා නම් ප්‍රශ්නෙත් විතරයි. ඔය කියන අභියෝගෙත් ඉවරයි.

  • ජීවිතයේ හිතූ පැතූ හැමදේම ඉටු කරගත්තා කියලා හිතෙනවද…‍?

මං හැමදේම ලබාගෙන ඉවරයි. මගේ ව්‍යාපාරික ඉලක්ක සපුරාගෙන හුඟක් කල්.

  • දැන් බිස්නස් කළා ඇතියි කියලා හිතන්නෙ නැද්ද…?

මං මැරෙන කල්ම වැඩ කරනවා. කර්මාන්තයක් කරන මිනිහෙක් හරියට ගේක මුදුන් ලීය වගේ… එයා කම්මැලි වුණොත් ඒක. සේවකයන්ට හොඳ ආදර්ශයක් නෙවෙයි.

  • එතකොට ව්‍යාපාරය දරුවන්ට බාර දෙන්න අදහසක් නැද්ද...

මගේ දරුවෝ තුන්දෙනා තමයි දැනටත් ව්‍යාපාරය ඉතා හොඳින් කරගෙන යන්නේ. හැබැයි මං මුදුනේ තියලා. ඒ අය වැඩ කළාට තනතුරු ඉල්ලන් නෑ‍. මම තවම ස්ථිරයෙන් දීලත් නැහැ. වැඩ කිරීම සහ අත්දැකීම් ලබා ගැනීමයි වැදගත්.

  • ඇයි ඔබ එහෙම කරන්නෙ…

මේ රටේ තාත්තා හදපු බොහෝ ව්‍යාපාර, පරම්පරාවක් දෙකක් යද්දී විනාශ වෙලා යන්නෙ ඒ දරුවන්ට සැබෑ හැඟීමක් නැති නිසයි. හැඟීමක් එන්නේ, තමන්ගෙ බිස්නස් එකේ වටිනාකම දැනෙන්නෙ ඒ වෙනුවෙන් මහන්සිවෙලා වැඩකළ තරමටයි. ව්‍යාපාරයක් ඉදිරියට යන්න නම් හැම පරම්පරාවකටම, ‘වැඩ කළ පසු හිමිකම ලැබීමේ අත්දැකීම’ ලැබෙන්න ඕනේ.

  • පුංචි කාලේ ඔබ දක්ෂයෙක් ද…. නැතිනම් වෙනස් දරුවෙක්ද…

මං දක්ෂයෙක් නෙවෙයි. හැබැයි වෙනස් දරුවෙක්. අයියලා තුනයි අක්කටයි පස්සෙ මම. මට බාල තවත් නංගිලා මල්ලිලා හතර දෙනෙක්. මේ හැමෝගෙන් ම ඉස්සරවෙලාම රස්සාවක් කරන්න ඕනෙ කියලා හිතුණෙ මට.

  • එහෙම හිතන්න හේතුව…

ළමයි නව දෙනකුට කන්න බොන්න දෙන්න තාත්තා විතරයි හම්බ කළේ. තාත්තාත් වෙද මහත්තයෙක්. පත්තරවලට ලියූ ලේඛකයෙක්. හැබැයි බොහොම අඩු ලුහුඬුවෙන් තමයි අපි ජීවත්වුණේ.

  • ඔබ ඉගෙන ගත්තෙ…

ගාල්ල විද්‍යාලෝකෙ සහ මාතර රාහුලේ.‍ හැබැයි පවුලේ අනෙක් දරුවො හුඟක් එංගලන්තෙ යවලා ඉගැන්නුවා. තාත්තාගෙ දැන හැඳුනුම්කම් නිසා එහෙම කරන්න පුළුවන් වුණා. ආතර්, පීටර්, බෙනට්, පද්මා කියන මගේ සහෝදර සහෝදරියෝ අද එංගලන්ත පුරවැසියෝ. ඒ ගොල්ලො ඒ කාලෙම ගියපු අය.

  • ඉතින් අම්මා කැමැති වුණාද….?

මට අවුරුදු නවයයි අම්මා නැතිවෙනකොට‍. පුංචිම මල්ලි කිරිබොන වයසෙ. තාත්තා ආපහු විවාහ වුණෙත් නැහැ. පුංචි අම්මා උදව් කළා. තාත්තා අපි නව දෙනාව කොහොම හරි හැදුවා.

  • ඇයි ඔබ පිටරට නොගියේ…?

කේන්දරයට අනුව, තාත්තා දැනගෙන හිටියා වෙදකමට ගැළපෙන්නේ මං බව. තාත්තා වෙදකමට මාව හවුල් කරගත්තා. ඉගැන්නුවා. මාත් වෙදකම් කළා. නමුත් මට ඕනෙ වුණේ රස්සාවක් කරන්න.

  • ඉතින් ඔබ රස්සාවක් කළා ද…?

‍ඔව්. තැන් කිහිපයකම. මුලින් ම, එම්.අයි. හේමචන්ද්‍ර සමාගමේ ලිපිකරුවෙක්. ඊළඟට CTB එකේ ගිණුම් ලිපිකරුවෙක්. ඊට පස්සෙ විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ගිණුම් ලිපිකරුවෙක්. ඊළඟට එම්.ඩී. ගුණසේන එකේ සේල්ස් රෙප් කෙනෙක් විදියට බැඳිලා මැනේජර් කෙනෙක් වන තුරු එතැන.

සිරිමාවෝ මැතිනිය ළඟත් ටික කලක් වැඩ කළා. අන්තිමේ ඔය ඔක්කොම අතෑරලා මිරිස් වැව්වා. ඒ අතරම ගල් ලෑලි හැදුවා. ඒකත් නැවතුණා. එතකොට මට වයස 26 යි. ඔය කාලෙ තමයි මට මගේ බිරිය මුණ ගැහුණේ. මට ලොකු ආදායමක් නැහැ. බිරිය B.A උපාධිධාරිනියක්. ඒ වෙනකොට ඇය ගල්කිස්ස විදුහලක උගන්වනවා.

  • පවුල් බර වැඩියෙන් දැනෙනකොටවත් ආදායමක් අවශ්‍යතාව දැනුණෙ නැද්ද…?

මොකද නැත්තෙ? ඔය කාලෙ වෙනකොට මගේ තාත්තා ඔත්පල වෙලා ගමේ. මං දරු තුන්දෙනකුත් එක්ක රත්මලානෙ කුලී ගේක ජීවත් වුණේ. මං තාත්තාගෙන් බෙහෙත් වට්ටෝරුව ඉල්ලුවා. තාත්තට තේරුණා මං ඒක හොඳින් කරයි කියලා. තාත්තා මට රහස් වට්ටෝරුව දුන්නා.

  • ඔබ එයින් තාත්තා කියූ විදියටම බෙහෙත් හැදුවද…?

තාත්තා මට ඒක දීලා කිව්වෙ පෝසත් වෙන්න හිතාගෙන මේ ඖෂධය වැඩි ගණන්වලට විකුණන්න එපා. හුඟක් ලාභ ලබන්න එපා කියලා.‍ මං බොහොම භක්තියෙන් වැඩේ පටන් ගත්තා. රත්මලානේ අඩි 10 x 10 කාමරයක. මමම බෙහෙත් හොයාගෙන, හදලා, බෝතල් කරලා පැක් කරලා එක පෙට්ටියක් ඔළුව උඩ තියාගෙන, අනෙක් පෙට්ටිය අතින් එල්ලාගෙන කඩයක් ගානේ අරන් ගියා. බස්වල නැඟිලා ඈත ගම්වලට ගියා. රට පුරා ගියා.

  • ඒ වෙනකොට වෙළෙඳපොළේ තිබුණු බාම් වර්ග මොනවද…?

ගුරුතෛලන්, වික්ස්, ටයිගර් බාම් වගේ ඉන්දියානු බාම් වර්ග. මුල් කාලයේ මේවා තමයි මිනිස්සුන්ගෙ ඔළුවලට රිංගලා තිබුණෙ. මං බෝතල් එක දෙක නිකම් කඩවලට දුන්නා.” මුදලාලි පාවිච්චි කරන්න… හොඳ නම් විකුණන්න අරගන්න…” කියලා‍. මුලදී එපා කියපු අය ’පස්සේ අත්පුඩි ගහලා අඬගහලා බඩු ගත්තා.

  • සිරිපාදේ නඟින බහින අයට නිකම් සිද්ධාලේප ගෑවේ නම ප්‍රචාරණය කරන්නද…?

ඒකත් එකක් තමයි. සිරිපාදෙ යන අයට නිකම් වතුර උගුරක්වත් ලැබෙන්නෙ නැහැ. කකුල්වල සිද්ධාලේප ගාන්න වෙනම කණ්ඩායමක් හැදුවා. මිනිස්සු පින් දුන්නා. පස්සේ , ‘සිරිපාදේ ඔබට හමු වූ වෙද මහතා මතකද… දැන් එම නිෂ්පාදනය රටේ හැම තැනම…’ කියන රේඩියෝ දැන්වීම දැම්මා. වැය වුණේ රුපියල් දෙකයි පණහයි. ඒකෙන් පස්සෙ නොහිතූ විදියට සිද්ධාලේප මිනිස්සු අතරට ගියා. 1978 වෙනකොට ගෑනු ළමයි කිහිප දෙනෙක් ගත්තා. පොඩි හිල්මන් කාර් එකක් ගත්තෙ ඊටත් කාලෙකට පස්සෙ.

  • ඔබ වාසනාව විශ්වාස කරනවද…

වාසනාව උදා කරගන්න ඕනෙ තමන්මයි. ඒක කවදාවත් ඉබේ ලැබෙන දෙයක් නෙවෙයි. මං සිද්ධාලේප කුප්පි දෙක තුනක් විකුණගන්න හැතැප්ම ගණන් ඇවිදලා ඇති. ලැබෙන්නෙ රුපියල් පහයි. බස් ගාස්තුයි කන්නයි සල්ලි ගියාම නවාතැනකට ගෙවන්න බැහැ. ගෙදර යන්න වෙන්නෙ හිස් අතින්. මං දවල් කෑම අත්හරිනවා. රෑට පේව්මන්ට් එකේ බුදියනවා. මේ තමයි වාසනාව හොයාගත්තු හැටි.

  • ජීවිතයේ දුකක් නැතිව සැපක් නැහැ… ඒකද ඔබ මේ කියන්නේ…?

රෑ පේව්මන්ට් එකේ නිදිය ගත්තම මහන්සියට පාන්දර නින්ද යනවා. “ඒයි නැගිටපං … කවුද යකෝ… උඹ…?” කියල පොලිස් කාරයෝ පයින් ගහන කොට මාව උඩ ගිහින් විසිවෙලා ඇහැරෙනවා. මාව එතැනම ඉන්දෙනවා.

“මං අහිංසක වෙළෙන්දෙක් රාළහාමි. නවාතැනට ගෙවන්න අමාරු නිසයි, මෙතැන නිදාගත්තෙ…” හම්බන්තොට නගරෙදි මං රාළහාමිට හේතු කියනවා. මේ තමයි මං පහු කරපු ජීවිතේ.

  • ඔබ හොඳ තාත්තෙක් ය… කියන සතුට දැනෙනවද…

නැතුව… පුතා ඇමෙරිකාවෙත් දූලා දෙන්නා එංගලන්තයේත් ඉගෙන ගත්තට ඒ ‍තුන්දෙනාම හොඳට හැදුණා. කවදාවත් මං මේ තුන් දෙනාට නිය පිටින් පාරක් ගහලා නැහැ. ‘උඹ’ කියල නැහැ.

  • අවශ්‍ය තැන තරවටු නොකිරීම කොහොමද හොඳ දෙයක් වෙන්නෙ…?

පුංචි අතපය ඇති දරුවෙකුට ගහන එක මට නම් මහා තිරිසන් ක්‍රියාවක්. තමන් හදාපු දරුවට ගහන්නෙ මොන හිතකින්ද…? හරි හරියට මාත් එක්ක ගහගන්න පුළුවන් කෙනකුට නම් මාත් ගහනවා‍.

  • බිරියත් හිතන්නෙ එහෙමද…

එයා නම් මුලදී දරුවන්ට ගැහුවා. මං කිව්වා, “ආයේ ගැහුවොත් එහෙම දික්කසාද වෙනවා…” කියලා. දරුවො දඟයි. අම්මලට තරහා යනවා. ඒ වුණාට ගහන්න තහනම්.

  • ඔබ ඔය තරම් ආදරේ දරුවන්ට තවම සිද්ධාලේප රහස් වට්ටෝරුව දීලා නැහැ…

මැරෙන්න කලින් සියලු දෙනාව කැඳවලා මං ඒක දෙනවා. අද වෙනකල් මගේ බිරියවත් ඒ වට්ටෝරුව හරි හැටි දන්නෑ. එයා අහන්නෙත් නැහැ. මං කියන්නෙත් නැහැ.

  • ඔබේ තාත්තා කළෙත් එහෙමද…?

තාත්තා මට මේ රහස් වට්ටෝරුව දුන්නෙත් අන්තිම මොහොතේ. ඉන්දියාවේ යෝගිවරුන්ගෙන් ලැබුණු වට්ටෝරුවක් නිසා තාත්තා මේක සැලකුවේ දේවත්වයෙන්. මාත් එහෙමයි.

  • 2004 ජනාධිපතිවරණයට ඉල්ලපු එක ගැන අද මොකද හිතන්නේ…

මට ඕනෙ වුණේ සමාජ මතයක් ඇති කරන්න විතරයි. හැම ගෙදරකම හරකෙක් හදාගන්න. කිරි දෙනක් හදාගන්න. ධාන්‍ය ටික එකතු කරගෙන අවුරුද්ද පුරා ඒක පාවිච්චි කරන්න… බඩගින්නට පිට රට දේ එනකල් බලා ඉන්න එපා… කියන දේ තමයි මට කියන්න ‍ඕනෙ වුණේ.

සමාජ සංහිඳියාව කියන්නෙ අලුත් දෙයක් නෙවෙයි. මේ මානව බැඳීම් එක්කයි රටක් ඉස්සරහට යන්න ඕනේ. රට වටා ගිහින් මං කිව්වෙ ඒ දේ. පිටරට සාකච්ඡාවලදිත් මං කිව්වෙ ඔය දේ.‍ ඒ නිසා ඒක මට මිනිස්සුන්ට කතා කරන්න ලැබුණු වටිනා අවස්ථාවක් මිස පසුතැවෙන්න කාරණයක් නෙවෙයි.

  • ආදරය… ප්‍රේමය දැන් ජීවිතෙන් ඈතයිද…?

මොන බොරුද… මං තවම ප්‍රේම කරන්න ආසයි. බිරියට දරුවන්ට මුනුපුරන්ට දක්වන ආදරය මට දවසින් දවස අලුත්. වයසට යනකොට තමයි ප්‍රේමයේ අවශ්‍යතාව වැඩිපුරම දැනෙන්නේ.

  • ජීවිතේ ලබා ගන්න බැරි වූ දෙයක් තියෙනවද…

මට අවුරුදු නවයේදී මගේ අම්මා, දරු නව දෙනෙක් දාලා යන්න ගියා. අම්මගේ ඒ ආදරේ ලබන්න තවම ආසයි. ඒ ‍උණුහුම ජීවිතේ තව එක දවසක් හරි ලැබෙනවා නම් විඳින්න ආසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිද්ධාලේප වෙද මහත්මයා දිවි සැරියෙන් සමුගනී…

Next Post

ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා සඳහා අයිතියක් තිබෙනවා… ඇමරිකානු තානාපතිනිය සිහි කරයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.