දිනසේන රතුගමගේ –
නීති විරෝධී ලෙස උතුරු මුහුදට පැමිණි අවස්ථාවලදී නාවික හමුදාවේ අත් අඩංගුවට පත් වූ ඉන්දීය ධීවරයින්ට අයත් යාත්‍රා අධිකරණ නියෝග මත උතුරේ ධීවර සංගම් වෙත ලබා දීම කෙරෙහි තමිල්නාඩු ධීවර සංගම් වල කැමැත්ත පල වී තිබේ.
ඒ අනුව දැනට අධිකරණ නියෝග මත රාජසන්තක වී තිබෙන ඉන්දීය යාත්‍රා 200 කට වැඩි සංඛ්‍යාවක් උතුරේ ධීවර සංගම් වෙත ලබා දීමට නියමිතය.
රාමේස්වරන් සිට උතුරු මුහුදු සීමාවන් දෙසට පැමිණෙන ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රා අබලන් වී ඔවුන් මහ මුහුද මැද අතරමං වන අවස්ථා වලදී මෙම ධීවර යාත්‍රා ඔවුන්ට පිහිටවීම සඳහාත් ඔවුන්ගේ දිවි ගලවා ගැනීම සඳහාත් යොදවන මෙන් තමිල්නාඩු ධීවර සංගම් ඉල්ලීමක් කොට තිබේ.
මෙසේ ධීවර සංගම්වලට ලබා දීමට නියමිත යාත්‍රා නිරීක්ෂණය කිරීම සඳහා ධීවර සංගම් නියෝජිතයින් යාපනයේ මයිලිට්ටි ධීවර වරායේ නවතා ඇති ඉන්දීය යාත්‍රා පරීක්ෂා කොට බලා තිබේ.
නව ධීවර පනතට අනුව මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කරමින් රට තුළට ඇතුලු වන යාත්‍රා රාජ සන්තක කෙරෙන අතර එම යාත්‍රා වලින් පැමිණෙන විදේශිකයින්ට එරෙහිව පවත්නා නීති රීති වලට අනුව කටයුතු කරනු ලබයි.
ඉන්දීය ධීවරයින් සතු යාත්‍රා 200 ක් පමණ රාජ සන්තක වී ඇත්තේ නව ධීවර පනතට අනුවවන අතර රාමේස්වරන් ධීවර සංගමය ප්‍රකාශ කරනේ උතුරේ ධීවරයින්ට ඉන්දීය ධීවරයින් නිසා යම් පාඩුවක් අලාභයක් සිදු වූයේ නම් එය පියවා ගැනීම සඳහා තම ධීවරයින් සතු යාත්‍රා උතුරේ ධීවරයින් වෙත ලබා දීම කාලෝචිත හා සාධාරණ ක්‍රියාවක් බවයි.







