රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වශයෙන් ලබාගත හැකිව තිබූ වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් වරයා විසින් ඊට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව නව නිවාඩු අයදුම්පත්‍ර හෝ නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතු බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.
ඒ අනුව අලුතෙන් නිවාඩු නිකුත් කිරීම නතර කර ඇති අතර දේශීය විදේශීය නිවාඩු ලබා සිටින නිලධාරීන් සඳහා අනුමත කර ඇති කාල සීමාවට අදාළව පමණක් එම නිවාඩුව ලබා ගැනීමේ හැකියාව තිබේ.
එමෙන්ම නිවාඩු සඳහා අනුමැතිය ලබා එම නිවාඩුව ගත කිරීමේ අපේක්ෂාවෙන් සිටින නිලධාරීන්ට අනුමත කර ඇති කාලසීමාවට අදාළ වන පරිදි නිවාඩුව ලබා ගැනීමේ හැකියාව පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් දැක්වෙයි.







