රට යළි ගිනි නොතබන්නැයි උතුරේ අන්තවාදීන්ගෙන් ඉල්ලන්න දිඹුලාගල හිමිවරු සහ කුරුක්කුරල්වරු පාරට බසිති!

මනම්පිටිය නිමල් ජයරත්න  –

පාර්ලිමේන්තුව නියෝජනය කරන උතුරු පළාතේ ඇතැම් දේශපාලඥයින් සහ පළාතේ අන්තවාදී  කණ්ඩායම් විසින් රටේ සිංහල, දමිළ,  මුස්ලිම්, ආගමික සහජීවනයට සහ සමගියට සිදුකරන බලපෑම් වහාම නවතා දහ තුන්වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කරන ඉල්ලීම් නතර කිරීමට පියවර ගන්නා ලෙසට බලකරමින් පොළොන්නරුව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සහ දිඹුලාගල ප්‍රදේශයේ හින්දු ආගමික පූජකයින් අද (06)  දහවල් විරෝධතාවයක නිරත වූහ. 

අනාදිමත් කාලයක සිට මෙරටේ සිංහල, දමිළ, මුස්ලිම්, ජනතාව ජාතීන් අතර සමගිය සාමය පතුරුවමින් ආගමික සංහිදියාවද ඇති කරමින් ඒකීය රටක් තුළ ජීවත් වූ බවත්, මේ මොහොතේ උතුරු පළාතේ ඇතැම් දේශපාලකයින් හා අන්තවාදී කණ්ඩායම් රට තුළ යළිත් යුදමය වාතාවරණයක් ඇති  කිරීමට වෛරි අදහස් හා ප්‍රකාශ සිදුකරමින් සිටින බවත්  ආගම් මෙන්ම ජාතීන් අතර භේද භින්න ඇති කිරීමේ ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් සිදුකරමින් පවතින බවත්  දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පාලනාධිකාරී මහනුවර විචිත්‍රාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

උතුරු පළාතට පමණක් වෙනම පාලනයක් සහ බලයක් නොදෙන ලෙසත්, රටේ පළාත් නවය තුළම සිංහල, දමිළ, මුස්ලිම් ජනතාව ඉඩම් සහ මුදල් පොලිස් බලතලවලට ගරු කරමින් එකසේ ජීවත්වන බවත්, වසර 30 ක කුරිරු යුධමය අත්දැකීම් සිහිපත් කරමින් එම තත්ත්වයට යළිත් රට ඇද නොදමන  ලෙසත්  උතුරු පළාතේ ඇතැම් දේශපාලඥයින් සහ අන්තවාදි කණ්ඩායම්වලින් උන්වහන්සේ ඉල්ලීමක් කළහ,

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂුන්වහන්සේලා සහ හින්දු පූජකවරුන් විරෝධතාවකින් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මහනුවර විචිත්‍රාලංකාර නා හිමියෝ ඒ බව කීහ.


උතුරු පළාතේ ගරුතර මහා සංඝරත්නයට මෙන්ම බෞද්ධ ජනතාවට නිදහසේ තම ආගමික කටයුතු කිරීමේ අවස්ථාව තිබිය යුතු බවත්, අනෙක් පළාත්වල හින්දු ආගමික කටයුතු කිරීමේදී මුස්ලිම් සහ සිංහල ජනතාව කිසිදු බාධාවක් සිදුනොකරන බවත් පවතින තත්ත්වය මත උතුරු පළාතේ ඇතැම් දේශපාලකයින් සිදුකරන වෛරය ප්‍රකාශ සහ කඩාකප්පල් ක්‍රියා වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසත්  දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විහාරාවාසිී හේනානිගල චුල්ලපන්තකාලංකාර නාහිමියෝ මාධ්‍ය සාකච්ඡාව අමතමින්  කීහ.

මෙහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාතේ හින්දු කටයුතු ආගමික ප්‍රධානී කුරුක්කල් ශිව ශ්‍රි කේ. දයානන්ද තුමන්  සඳහන් කළේ නැගෙනහිර පළාතේ සිංහල, දමිළ, මුස්ලිම්, ජනතාව ඉතා සමගියෙන් ආගමික සහජීවනයකින්   ජීවත්වන බවය.

උතුරු මැද පළාතේ හින්දු ආගමික නායකයින් මෙන්ම කුරුක්කල්වරුන් සිංහල සහ මුස්ලිම් ජනතාව සමඟ ආගමික සහජීවනය ඇතිකර ගනිමින් සෙසු කටයුතු කිරීමේදී ඒකරාශි වී සියලු ජාතීන් අතර සමගිය ඇති වන පරිදි කටයුතු කරන බවද එතුමෝ කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උතුරු පළාතේ ඇතැම් දේශපාලඥයින් මෙන්ම අන්තවාදී කණ්ඩායම්ද රට නැවත වරක් යුධමය වාතාවරණයට රැගෙන නොගොස් සාමය, සංහිඳියාව  ඇති කිරීමට පූර්වාදර්ශය සපයන ලෙස ද එතුමෝ ඉල්ලා සිටියහ.

Exit mobile version