රටින් මැලේරියාව තුරන් කළත් යළි පැතිරීමේ අවදානමක් සහිතව රට ලෝක මැලේරියා දිනය සමරයි…

ශ්‍රියානි විජේසිංහ –                                                  

ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී ඇත.  “මැලේරියාවෙන් තොර ශ්‍රී ලංකාවක් සදහා අවදානම් කණ්ඩායම් දැනුවත් කරමු” යන්න තේමාව යටතේ  මැලේරියා දිනය අද සමරනු ලබයි.

ඒ වසර 14කට පසු    මැලේරියාව වැළඳී රට තුළ මිය ගියේ යැයි සැක කරන පුද්ගලයෙක් පිළිබඳ තොරතුරුත් සමගය. මෙම පුද්ගලයා මැලේරියා බහුල ටැන්සානියාවේ සංචාරය කර පැමිණි අයෙකි.  එමෙන්ම මැලේරියා බහුල රටවල සංචාරය කිරීමෙන් පසු පිළිපැදිය යුතු සෞඛ්‍ය නියමයන් පිළිපැද නැති පුද්ගලයෙකි.

මේ වන විට අප දේශීය වශයෙන් මැලේරියා  පරපෝෂිතයා තුරන් කර ඇතත් මැලේරියා මදුරුවන් රට තුළ සිටින   බැවින් මැලේරියා බහුල රටක සිට මෙරටට පැමිණෙන පුද්ගලයෙකුගේ රුධිරයෙන්  පරපෝෂිතයා    පැමිණියහොත් නැවතත් මැලේරියා වසංගතයක් රට තුළ  නිර්මාණය වීම වැලැක්විය නොහැකි බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චම්පා අලුත්වීර   සඳහන් කරයි.

වියළි කලාපය තුළ  මැලේරියා බෝකරන මදුරුවන් විශාල වශයෙන් සිටිය ද රෝගීන් බහුල ලෙස වාර්තා වනුයේ බස්නාහිර පලාතෙන්  බව ඇය පෙන්වාදේ.


මැලේරියා බහුල රටවල් සංචාරය කරන බහුතරයක් දෙනා බස්නාහිර පළාතේ පදිංචිකරුවන් විම මෙයට හේතුව යැයි ඇය සඳහන් කරයි.  

වාර්ෂිකව මැලේරියා රෝගීන් වාර්තා වන අතර ඒ සෑම රෝගියෙකුටම රෝගය බෝවී ඇත්තේ විදේශ රටකදී බවද ඇය පෙන්වාදේ.

මේ අනුව මැලේරියා බහුල රටවල් වෙත යාමට පෙර ඖෂධ ගැනීමත් නැවත මෙරටට පැමිණි  පසුව රුධිර පරික්ෂාවක් සිදුකිරිමත් අනිවාර්ය කර ඇතත් බොහෝ පිරිසක් මෙය මගහරින  බවක් පෙනුම් කරන්නේ යැයි ද  ඇය  පවසා සිටියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැලේරියා ප්‍රතිකාරයන් නොමිලේ ලබා  දෙන බැවින් විදේශ ගතවීමට පෙර මැලේරියා මර්දනයට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම හා මෙරටට පැමිණි පසුව රුධිර පරික්ෂාවක් සිදුකර ගැනීමෙන්    මැලේරියාව තුරන් කළ රටක් ලෙස   ලෝක සෞඛ්‍ය සංවිධානය අපට පිරිනමා ඇති සහතිකය රැකගත හැකි වනු ඇතැයිද මැලේරියා මර්ධන  ව්‍යාපාරය සඳහන් කරයි.

Exit mobile version