රජයේ පොදු නියමයන් නොසලකා මේ මොහොත වනතුරු අත්තනෝමතික ලෙස පාලන මිලට වඩා වැඩි මිලකින් සහල් අලෙවි කරන පොලොන්නරුවේ මහා පරිමාණ සහල් මෝලකට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බව ඇමති වසන්ත සමරසිංහ අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු ප්‍රකාශ කළේ පාරිභෝගික සේවා අධිකාරිය විසින් පොළොන්නරුවේ මහා පරිමාණ සහල් මෝල් 15ක් පිළිබඳව දෛනික නිරීක්ෂණයක යෙදෙන බවත් මෙම සහල් මෝල පමණක් පාලන මිලට සහල් ලබා නොදෙන බවත්ය.
ඔහු කීවේ වී මිලද ීගැනීම සඳහා පසුගිය වසරේ පමණක් මේ වී මෝල්කරු රුපියල් බිලියන 15ක් රාජ්‍ය බැංකුවලින් ණය ලබාගෙන ඇති බවය.
ඇමතිවරයා කීවේ මෙවැන්නකි.
“පොලොන්නරුවේ එක් මහා පරිමාණ සහල් මෝලක් අත්තනෝමතික ලෙස පාලන මිලට වැඩි මිලකට සහල් විකුණමින් තිබෙනවා. මෝලේදි නාඩු කිලෝ එක රුපියල් 215යි කියලා කිව්වට කඩේට ගියාට පස්සේ කියනවා මේකට දාන්න රුපියල් 230යි කියලා. රුපියල් 15 අතෙන් දෙන්න ඕන කඩකරු. කීරි සම්බා රුපියල් 255ට තියන එක රුපියල් 275 ට දෙන්න තමයි ඒ මෝල කටයුතු කරමින් තිබෙන්නෙ. රජයේ බැංකුවලින් රුපියල් බිලියන 15ක් ණය අරන් තියනවා මේ මෝල.
ඒ නිසා ආණ්ඩුවෙන් ණය දෙන පහසුකම පාවිච්චි කරලා ගන්න වී ටික සහල් කරලා අද දවසෙත් පාරිභෝගිකයාට මේ විදිහට අත්තනෝමතික බලපෑම කරනවා.
අපි මෝල් 15ක් අධීක්ෂණය කරනවා. ඒ මෝල් 15න් මේ මෝල හැරෙන්න අනෙක් හැම මෝලක්ම පාලන මිලට සහල් දෙනවා. ඊයේ දවසෙත් අපි මේක චෙක් කළා.
ඒ නිසා මේ මෝලට අදාලව පාරිභෝගික සේවා ධිකාරිය පරීක්ෂණ ආරම්භ කරලා තියනවා. පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් කරනවා. ඊයේ දවසෙත් වැඩි මිලට සහල් විකුණපු කඩ 38ක් වැටලීම් කරලා අපි අත් අඩංගුවට ගත්තා.
ඉදිරියටත් මේ මෝල පිළිබඳව විශේෂ තීරණයක් ගන්න අපි කටයුතු කරනවා.







