යොවුන් දඟපන්දු යවන්නෝ ලංකාව ටෙස්ට් ජයග්‍රහණය වෙත වඩමවාගෙන යති…

පළමු ටෙස්ට් තරගයේ ලකුනු 178ට කඩුළු 6යි... ප්‍රවීන් ජයවික්‍රම ලෝකයේ වාර්තා අතරට එක් වෙයි..

බංගලාදේශ ඉනිම සුණු විසුණු කරමින් යොවුන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්වන ප්‍රවීන් ජයවික්‍රම හා රමේෂ් මෙන්ඩිස්  ශ්‍රී ලංකාව ගෞරවණීය ටෙස්ට් ජයග්‍රහණයක් වෙත කැඳවාගෙන ගියේය.

සිය මංගල ටෙස්ට් තරගයේ  මුල් ඉනිමේදීම කඩුළු 06ක් ලබා ගෙන වාර්තා අතරට එක් වූ ප්‍රවීන් ජයවික්‍රම සිය දෙවන ඉනිමේ කඩුළු 05ක් ලබාගෙන තරගයේ ඉනිම දෙකේ දීම ලකුණු 178කට කඩුලු 11ක් වාර්තා කරමින් වාර්තා පොත් අතරට එක් විය. මංගල ටෙස්ට් තරගයේ දී ලංකාවේ පන්දු යවන්නෙක් දැක්වූ ඉහළම දස්කම මෙයය.  වර්ෂ 2008 ජේසන් ක්‍රෙජ්සාගෙන් පසු මංගල ටෙස්ට් තරගයදී කඩුළු 10ක් ලබා ගත් ලොව පළමු පන්දු යවන්නා ඔහුය.  ප්‍රවීන් සිය මංගල ටෙස්ට් තරගයේ දීම තරගයේ වීරයා විය.

ඔහුට විශිෂ්ට සහයක් ලබා දුන් රමේෂ් මේන්ඩිස් මුල් ඉනිමේ කඩුළු 2ක් හා දෙවන ඉනිමේ කඩුළු 04ක් ලබා ගත්තේය.


තරගයේ කාසියේ වාසිය  දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නායක දිමුත් කරුණාරත්න හා ලහිරු තිරිමාන්න විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සාරථක  ආරම්භයක් කණ්ඩායමට ලබා දුන්හ. දිමුත් ලකුණු 118ක් හා ලහිරු ලකුණු 140ක් ලබා ගත්හ. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 81ක් වාර්තා කළේය. නිරෝෂන් දික්වැල්ල ලකුණු 77ක්, රමේෂ් මෙන්ඩිස් ලකුණු 33ක්, පැතුම් නිශ්ශංක ලකුණු 30ක් වාර්තා කළහ. ලකුණු 493කට කඩුළු 7 දැවී තිබෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම අත්හිටවූයේය. පන්දු යැවීමේ දී වේග පන්දු යවන ටස්කින් අහමඩ් ලකුණු 127කට කඩුළු 4ක් බිඳ හෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බංගලාදේශය වෙනුවෙන් සාර්ථක පිතිකරණයක නිරත වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක තමීම් ඉක්බාල් ලකුණු 92ක් වාර්තා කළේය. ශතකය ආසන්නයේ දී තමීම් ප්‍රවීන් ජයවික්‍රමට ගොදුරු විය. බංගලාදේශයේ මුල් ඉනිම වෙනුවෙන් මොමියුනුල් හක් ලකුණු 49ක්, මුෂ්ෆික්‍යු රහුමාන් ලකුණු 40ක් ලබා ගත්තේය. බංගලාදේශ මුල් ඉනිම ලකුණු 251කට සීමා විය. ප්‍රවීන් ජයවික්‍රම මුල් ඉනිමේ කඩුළු 06ක් ලබා ගත්තේය. අනෙක් යොවුන් දඟපන්දු යවන්නා වූ රමේෂ් මෙන්ඩිස් කඩුළු 02ක් ද, සුරංග ලක්මාල් කඩුලු දෙකක් ද ලබා ගත්තේය.

ලංකාව දෙවන ඉනිම ආරම්භ කළේ ලකුණු 242ක් ඉදියෙන් හිඳිමිනි. දෙවන ඉනිම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 66ක්, ධනංජය ද සිල්වා ලකුණු 41ක්, පැතුම් නිශ්ශංක ලකුණු 24ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 24ක් වාර්තා කළහ. ලකුණු 194කට කඩුලු 9ක් දැවී තිබිය දී ඉනිම අත්හිටවූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 436 ජයග්‍රාහී ඉල්ක්කයක් බංගලාදේශ කණ්ඩායමට ලබා දුන්නේය. දෙවන ඉනිමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ තයිජුල් ඉස්ලාම් ලකුණු 72කට කඩුළු 05ක් බිඳ හෙළීය.

436ක ඉලක්කයක් සඳහා ඊයේ පිටියට පැමිණි බංගලාදේශ කණ්ඩායමේ කඩුළු 5ක් ලකුණු 171කට බිඳ දැමීමට  ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ සමත් වූහ. බංගලාදේශ දෙවන ඉනිම මුළුමනින්ම බිඳ දමන්නේ දඟ පන්දු යවන්නන් විසිනි. යළිත් ක්‍රියාත්මක වූ වමතින් ඔතඩොක් පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම කඩුළු 5ක් ලබා ගත්තේය. ඒ ලකුණු 86කටය. රමේෂ් මෙන්ඩිස් කඩුළු 4ක් ලබා ගත්තේය. ඒ ලකුණු 103කටය. ධනංජය ද සිල්වා

කඩුල්ලක් ලබා ගත්තේය ඒ ලකුණු 19කටය. බංගලාදේශ ඉනිම ලකුණු 227කට සීමා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලකුණු 209ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය. 2 -1ක තරගාවලි ජයග්‍රහණයක් දිනා ගත්තේය.

 

 

 

Exit mobile version