දිනසේන රතුගමගේ –
යාපනයේ මුරුසවිල් තවසිකුලම් කන්නකායි අම්මාන් කෝවිල් භූමියේ කාලයක් සිටි විශාල පූජනීය නාගයෙකු 18 දා කිසියම් පුද්ගලයෙකු විසින් පැහැර ගෙන ගොස් තිබේ.
මෙම නාගයා කෝවිලේ ගසක් යට වසර අටකටත් වඩා වැඩි කාලයක සිට ජීවත් වන බවත් නාගයා හදිසියේම අතුරුදහන් වී ඇති බවත් පවසන කෝවිලේ බාරකාර පූජකයා අවට නිවාස වල සී.සී.ටීවී කැමරා පරීක්ෂා කිරීමේදී රාත්‍රි කාලයේ එම කෝවිල් භූමියට පැමිණි පුද්ගලයෙකු නාගයා පැහැර ගෙන පෙට්ටියක දමා ගෙන පලා ගිය ආකාරය දකින්නට ලැබුණු බව පොලීසියට ප්‍රකාශ කොට තිබේ.
මෙම නාගයාට කෝවිලේ සේවකයින් දිනපතාම පාහේ කෝවිලට ලැබෙන එලකිරි පානය කිරීමට පුරුදුව සිටීම නිසා නාගයා මනුෂ්‍යයන්ට ඉතා හීලෑ කමකින් සිටි බවද කෝවිලේ බාරකාර පූජකවරයා කියා සිටියි.
රාත්‍රී කාලයේදී මෙම නාගයා පැහැර ගැනීමට පෙර සවස් කාලයේදී කෝවිල් භූමියට පැමිණි එක් පුද්ගලයෙකු රිලවෙකු නටවමින් කෝවිල් භූමියේ රැඳී සිටි බවත් නාගයා පැහැර ගෙන යාමේ සීසී ටීවී කැමරා වල දැක්වෙන්නේ ඒ පුද්ගලයාට සමාන පුද්ගලයෙකු බවද පවසයි.
යාපනය මුරුසවිල් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.